ෆේස්බුක් සාදයේ 28දෙනකුට දඩුවම්

මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ සාදයක් වටලා කේරළ ගංජා සමග අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැර සිටි තරුණයින් 26 දෙනා සහ තරුණියන් දෙදෙනා ඇතුළු 28දෙනාගේ නඩුව ඊයේ (09 දා) කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි විසිපස්
දෙනාගෙන් උසස් අධ්‍යාපනය ලබන සිසුන් පස්දෙනාට එක් අයකුට රුපියල් 1500 බැගින් රජයේ ගාස්තුවක් ගෙවීමටත් අනෙක් විසි දෙනාට එක් අයකුට රුපියල් පන් දහස බැගින් දඩ මුදල් ගෙවීමටත් ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
එම සාදයේ දී ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තරුණයින් හයදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ද මෙහිදී විභාගයට ගත් අවස්ථාවේ සිව්දෙනකු නිවැරදිකරුවන් බව පැවසීම නිසා ඔවුනට එරෙහි නඩුව ඔක්තෝබර් 14 වැනිදා දක්වා කල් තැබූ මහෙස්ත‍්‍රාත්වරයා වරද පිළිගත් විත්තිකරුට රුපියල් එක් දහස් පන්සියය බැගින් දඩ නියම කළේය. අනෙක් විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.
පසුගිය 29 වැනිදා රාත‍්‍රි අක්මීමණ පොලිස් වසමේ හෝටලයක මෙම තරුණ තරුණියන් විසි අට දෙනා සාදයක් පවත්වමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුහු අවුරුදු 18ත් 24ත් අතර වයස්වල පසුවන මොරටුව, අම්පාර, අනුරාධපුරය, මාතලේ, බදුල්ල, කුරුණෑගල සහ කොළඹ ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
නිරෝධායන නීති රීති උල්ලංඝනය කිරීම සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු පවරා තිබිණි.
විත්තිකරුවන් වෙනුවෙන් දසුන් තරංග මාවඩවිල, ඒ. ඞී. සී. දර්ශණ යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ. අක්මීමණ පොලිසියේ උප පොලිස් පරීක්ෂක රෝහණ, සැරයන් ලක්ෂ්මන් (31084) යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.