හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන මහල් නිවාසය අසල මාර්ගයේ සිදුකළ වැටලීමකින් කොළඹ උතුර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (05) රාත්‍රී 8.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී හෙරොයින් ග්‍රෑම් 322 යි මිලිග්‍රෑම් 910 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකාරිය හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 50,000ක මුදලක් ද සමග අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 25 ක් වු කොළඹ 14, ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය අද (06) දින මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
මේ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකිව පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙක් ඊයේ (05) දිනය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් අතර කාන්තාවන් 09 ක් සහ පිරිමින් 48 ක් සිටින අතර ඔවුන් මුදල් වංචා කිරීම් , මුදල් විශ්වාසය කඩ කිරීම් , කූඨ ලේඛන සකස් කිරීම් , බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70කට සම්බන්ධ බව අනාවරණය වී ඇත.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විසඳුණු අපරාධවල සම්පූර්ණ මූල්‍ය වටිනාකම රුපියල් දසකෝටි අසූ හතර ලක්ෂ හැත්තෑ දහස් තුන්සිය පනස් හයක් බව පොලීසිය පවසයි.
මෙම සැකකරුවන්ට අමතරව පොලීසිය මඟහැරි වරෙන්තුකරුවන් 13 ක් ද මෙම මෙහෙයුමේ දී වංචා විමර්ශන කාර්යංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියලු සැකකරුවන් අද (06) දින අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.