කොහොම හරි ට්‍රයි කරලා කැම්පස් වරෙන්… ඒක පට්ට..!

මේ සටහන ලියන්න ඕනි කියලා හිතුණෙ හෙට අනිද්දා උසස් පෙළ විභාගය ලියන නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද මාත් මීට අවුරුදු හතකට කලින් ඒ විදිහට ලොකු කට්ටක් කාලා ඒ ලෙවල් විභාගෙ ලියලා ඊට පස්සෙ කැම්පස් ඇවිත් තාමත් ජීවිතේ බලාපොරොත්තු ඉටු කර ගන්න ලොකු ට්‍රයි එකක් දෙන නිසා මං මේ කියන දේවල් වැදගත් වෙයි කියලා හිතුණ නිසා.

මං දකින විදිහට ඒ ලෙවල් කියන්නෙ අපේ රටේ තියෙන දරුණුම විභාගය. විභාගෙ ලියන උඹලට ඒක ලොකුවට දැනුණෙ නැති වුණාට අම්මලා තාත්තලා කියන විදිහට, ගුරුවරුන් කියන විදිහට මේක තමා උඹලට මූණ දෙන්න වෙන පට්ටම දරුණු විභාගය. ඒක මේ වචන වලින් විස්තර කරන්න අමාරු තරමේ මහා ලොකු තේරුමක් තියෙන කතාවක්. මං ඒක මගෙයි මගෙ යාළුවෙක්ගෙයි අත්දැකීමක් එක්ක මෙහෙම කියන්නම්කො.

එක වසරේ ඉඳන් දහ තුන වසරට එනකන් තමන් එක්ක එකට ඉගෙන ගත්ත ආව ගිය කාපු බීපු තමන්ගෙ හොඳම යාළුවා මේ විභාගෙන් පස්සේ තමන්ට වඩා එක ලකුණක් හරි ඇරන් කැම්පස් යන්න සිලෙක්ට් වෙනවා. ඒත් ඒ යාළුවත් එක්ක එකටම ඉඳලා එකට පාඩම් කරත් තමන්ට එහෙම කැම්පස් යන්න බැරි වුණොත් එක පැත්තකින් යාළුවා කැම්පස් ගියා කියලා හිතට දුකක් දැනෙයි. ඒත් ඊට එහා ගියපු ලොකු වේදනාවක් දැනෙන්නෙ තව අවුරුදු හතරකින් පස්සේ ඒ යාළුවා කැම්පස් එකෙන් අවුට් වෙලා ඇවිත් ජීවත් වෙන විදිහ දකිද්දි. මං මේ කියන කතාව ආට් කොමස් කරන අයට ලොකුවට දැනෙන්නෙ නැති වුණත් ඒ ලෙවල් වලට බයෝ මැත්ස් කරපු අයට නම් මං මේ කියන්නෙ මොකක් ද කියලා හොඳටම තේරෙයි. ඒක තව දුරටත් පැහැදිලි කරන්න මට මුහුණ දෙන්න වුණ අත්දැකීමකුයි මගෙ යාළුවෙක් මට කියපු අත්දැකීමකුයි මං කියන්නම්.

මං 2008 දි පළවෙනි සැරේට මැත්ස් වලින් ඒ ලෙවල් ලියද්දි මාත් එක්ක එකට පන්ති ගියපු යාළුවෙක් දැනට සතියකට විතර කලින් මට හම්බුණා. එයා අපෙ ගමේමයි. ඒත් දැන් වැඩ කරන්නෙ කොළඹ කම්පැනියක. මං ගමනක් යන්න බස් එකට හෝල්ට් එකට යනකොට රතු පාට ලොකු කාර් එකක් ඇවිත් මං ළඟ නැවැත්තුවා. ඊට පස්සේ වීදුරුව පාත් කරලා කතා කරද්දි තමයි මං අඳුරගත්තෙ මේ යාළුවා කියලා. එයා කොහොම හරි ට්‍රයි කරලා ඒ ලෙවල් සකන්ඩ් ශයි එකෙන් පේරාදෙණියෙ කැම්පස් එකේ ඉන්ජිනියරින් ෆැකල්ටියට ගියා. ඒත් මං අයෙ ඒ ලෙවල් ලිව්වෙ 2011 දි ආට් වලින්. ඒ විදිහට අපි දෙන්නා ඒ ලෙවල් වලදි ගත්ත තීරණත් එක්ක අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පස්සෙන් ආපු වාහනේකට ඉඩ දෙන්න ඕනි නිසා පස්සෙ කතා කරමු කියලා යාළුවා ගියාට අයෙ අපිට එහෙම හම්බෙලා කතා කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ. යාළුවා ඇවිත් තිබුණෙ නිවාඩු දවසෙ එයාගෙ අම්මටයි තාත්තටයි කතා කරලා යන්න. එයා එදාම හවස ආයෙ ගිහින්. ඊට පස්සෙ රැකියාවත් එක්ක කාර්යබහුල වෙනවා. අයෙ ඉතින් එහෙම පාරකදි අහම්බෙන් හම්බුණොත් මිසක් එහෙම හම්බෙන්න වෙලාවක්වත් වුවමනාවක්වත් නෑ.

ඒ විදිහට මට මුහුණ දෙන්න වුණු ඒ අත්දැකීම මං කිව්වෙ ඒ ලෙවල් ඇයි දරුණු විභාගයක් කියන්නෙ කියන එකට. මං තව අත්දැකීමක් කියන්නම්. මේක වුණේ මගෙ යාළුවෙක්ට.
මාත් එක්ක මැත්ස් වලට ක්ලාස් ගියපු එක යාළුවක්ට කැම්පස් යන්න බැරි වුණ නිසා එයා ඕපන් යුනිවර්සිටි එකේ ඉන්ජිනියරින් කරන්න පටන් ගත්තා. එයා ඒකෙ ලේක්චර්ස් යද්දි එක සබ්ජෙක්ට් එකක ලෙක්චර් විදිහට ඇවිත් තියෙන්නෙ අපිත් එක්ක එකට ක්ලාස් ගියපු යාළුවෙක්. ලෙක්චර් කෙනෙක් වෙලා හිටපු යාළුවා තමන්ගෙ දේශනයේ ශිෂ්‍යයා වෙලා හිටපු මගෙ අනිත් යාළුවාව අඳුරන්නෙ නැති කෙනෙක් විදිහට තමා හැසිරිලා තිබුණෙ. මොකද එක පැත්තකින් තමන්ගෙ ජොබ් එක ඇතුළෙ යාළු මිත්‍රකම් පවත්වන එකත් ප්‍රශ්නයක්නෙ. කොහොම වුණත් ඒ වෙච්ච වැඩේ ගැන නම් මේක මට කියපු මගෙ යාළුවගෙ හිතට ටිකක් වේදනයි. එහෙම වෙන එක ඉතින් සාමාන්‍යයිනෙ.

ඔන්න ඉතින් ඔය විදිහට ඒ ලෙවල් වලින් පස්සේ අපේ ජීවිත ‍කොච්චර වෙනස් වෙනවද කියලා මටයි මගෙ යාළුවට වෙච්ච අත්දැකීම් ඇසුරින් දැන් හොදටම තේරුම් යනවා ඇති. ඒකයි මං මුලින්ම කිව්වෙ මේක වචන වලින් විස්තර කරන්න අමාරු තරමේ මහා ලොකු තේරුමක් තියෙන කතාවක් කියලා. මොකද විභාගෙ ලියන්න කලින් පන්ති වල සර්ලා ඒක කියද්දි මටත් ඕක ඔච්චර ලොකුවට තේරුණේ නැතත් දැන් නම් හොඳටම තේරෙනවා. මේ අත්දැකීම් එක්ක දැනෙනවා. ඒ නිසා තමයි කොහොම හරි කැම්පස් යන්න ට්‍රයි කරන්න කියලා මං කියන්නෙ. ඒකට චාන්ස් තුනක්ම දීලා තියෙනවානෙ. තුන් පාරම උපරිම ට්‍රයි කරලා බැරි වුණොත් ජීවිතේ අතඅරින්න එපා කියන එකත් කියන්න ඕනි. මොකද ඒ ලෙවල් නැතුව ජීවිතේ ගොඩදාගත්ත මිනිස්සුත් ඕනෑ තරම් ඉන්න නිසා. මොනවා වුණත් ඒ ලෙවල් කියන්නෙ ජීවිතේ ටාගට් වලට යන්න කෙටි පාරක්. හැබැයි ඒ කෙටි පාරෙන් යන්න බැරි වුණා කියන්නෙ ඒ ටාගට් වලට යන්න බැරිවුණා කියන එක නෙමෙයි. ට්‍රයි කරලා අනිවාර්යෙන්ම ඒ ටාගට් වලට යන්න පුළුවන්.

ඒ වගේම ජීවත් වෙනවා කියන්නෙ මැරෙන්නෙ නැතුව ඉන්න එක විතරක් නෙමෙයි කියලා කැම්පස් ආවම උඹලට තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙච්චර දවස් ජීවිතේ මහා ලොකු ප්‍රශ්න කියලා හිතාගෙන හිටිය දේවල් සීනි බෝල තරම් බොළඳයි නේද කියලත් එතකොට තේරෙයි. ඒ ලෙවල් ලියද්දි කෙල්ලෙක් හිටියා නම් ඒ සම්බන්ධෙට ගෙදරින් අකමැති වුණා කියලා දුක් වෙවී හිටියා නම් කොල්ලා කැම්පස් ගියා කියපු ගමන් කෙල්ලගෙ ගෙදරින් දාපු ප්‍රශ්න ඔක්කොම නැති වෙලා යනවා. ලොකු ෆෝන් එකක් ගන්න ගෙදරින් සල්ලි ඉල්ලලා හම්බුණේ නැතුව තරහා වෙලා හිටියා නම් කැම්පස් ආවම තේරෙයි ජීවිතේ කියන්නෙ ඒ භෞතික දේවල් නෙමෙයි කියන එක.

කැම්පස් කිව්වම මීඩියා වලිනුයි සමාජෙනුයි හදලා තියෙන මතය තමා කැම්පස් කොල්ලො කෙල්ලො කියන්නෙ විප්ලවකාරයෝ පිරිසක් කියන එක. බොහොම ආවේගශීලීව හැසිරෙන පොලිස් නිලධාරීන් කියන්නෙ නයා මුගටියා දැක්කා වගේ වෙන ආණ්ඩුවත් එක්ක ජන්මාන්තර වෛරයක් තියෙන පිරිසක් කියලනෙ කැම්පස් ළමයි ගැන මිනිස්සු හිතන් ඉන්නෙ. ඒ වුණාට මීඩියා වලින් පෙන්නන විදිහට වඩා එහා ගියපු ගැඹුරක් ඒ ජීවිත ඇතුළෙ තියෙනවා කියලා කැම්පස් ආවම උඹලට තේරෙයි. මොකද අරගල තියෙන්නෙ ලිප්ටන් වට රවුමෙ හරි වෙන කොහෙවත් හන්දියකවත් පාරකවත් නෙමෙයි ජීවිතේ එක්කමයි කියලා කැම්පස් ආවම තේරෙයි. තුන් වේල කන්න විදිහක් නැතුව ප්ලේන්ටි බිබී පාඩම් කරද්දි ගෙවල් වල ප්‍රශ්නත් එක්ක කේටරින් හරි ප්‍රමෝෂන් හරි ගිහින් කීයක් හරි හොයාගන්න ට්‍රයි කරන ළමයි දකිද්දි ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරෙයි.

කැම්පස් ජීවිතයත් එක්ක ආදරයත් වෙන් කරන්න බැරි විදිහට බැඳිලා තියෙන නිසා ඒ ගැනත් නොකිව්වොත් අඩුවක් වෙන නිසා ඒ ගැනත් මං කියන්නම්කො. එතකොට ඉතින් අමතක කරන්නම බැරි සින්දුවක් තමා අමරසිරි මහත්තයගෙ “හන්තානට පායන සඳ…” සින්දුව. ඒ ලෙවල් වලින් පස්සෙ කොල්ලට කැම්පස් යන්න බැරි වෙලා කෙල්ල කැම්පස් ගිහාම කොල්ලා හිත හදා ගන්න එහෙම කිව්වට ඇත්ත ජීවිතේ දී ඒහෙම හිත හදාගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද. ඒත් ඒක තමා ඇත්ත. කෙල්ල විතරක් කැම්පස් ඇවිත් ඉගෙන ගද්දි ඒ කෙල්ලට ඉහළ සමාජ පන්තියකට යන්න ලැබෙනවා. එතකොට කැම්පස් ආවෙ නැති කොල්ලව තමන්ට ගැළපෙන්නෙ නෑ කියලා හිතෙන එක චපල කමක් කියලා පෙනුණත් ඒක සාධාරණයි. ඒ නිසා අවුට් වෙන්න කලින් කැම්පස් එක ඇතුළෙම කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒකට ගෙදරිනුත් කැමති වෙනවා. හැබැයි ඉතින් කෙල්ල හරි කොල්ලා හරි ඒ කියන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් කැම්පස් ඇවිත් අනිත් කෙනාට එන්න බැරි වුණත් බ්රේක් වෙන්නෙ නැති ප්‍රේම සම්බන්ධතා අන්තිමට ලස්සනට විවාහ ජීවිත වලට ඇතුළත් වෙච්ච අවස්ථාත් ඕන තරම් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඒ නිසා හැමදේටම වැදගත් වෙන්නෙ තේරුම් ගැනීම. මොකද තේරුම් ගැනීම තරම් බැඳීමක් ශක්තියක් කරන්න පුළුවන් දෙයක් තවත් නැති නිසා.

එහෙනම් ඔන්න මේ දේවලුත් එක්ක හෙට අනිද්දා ඒ ‍ලෙවල් ලියන හැමෝටම සුබ පතනවා. ඒ ලෙවල් කියන්නෙ මුළු ජීවිතේම නොවුණත් ජීවිතේ ගොඩක් වෙනස් කරන්න ඒ විභාගෙට පුළුවන්. එක පැත්තකින් මුළු ජීවිතේම නෙමෙයි මුළු පරම්පරාවෙම අනාගතය ඒ විභාගෙ නිසා තීරණය වෙනවා. තමන් නොදැකපු පරම්පරා ගාණක අනාගතය මේ විභාගෙ එක්ක රැඳිලා තියෙනවා කිව්වත් වැරදි නෑ. ඒ නිසා මේ සටහන අවසන් කරන මොහොතෙදිත් මං ආයෙත් මතක් කරන්නම්.

කොහොම හරි ට්‍රයි කරලා කැම්පස් වරෙන්… ඒක පට්ට..!

සුරෝෂන ඉරංග