බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට 23දා සයිබර් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සයිබර් ප්‍රහාරය පිළිබඳව සිකුරාදා (ජුනි 23) රාත්‍රියේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව වාර්තාවන අතර, වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටතදී සිය ඊමේල් භාවිත කිරීමට අපහසු විය හැකි බව ඉන් අනතුරුව ඔවුන්ට දැනුම් දී තිබේ.

ඊමේල් භාවිත කිරීමට නොහැකිවීම සයිබර් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් නොව ප්‍රහාරයෙන් අනතුරුව ගත් ආරක්ෂක පියවරක් බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකවරියක් සඳහන් කළාය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලධාරීන් සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂාවීමේ ජාතික මධ්‍යස්ථානය සමග එක්ව කටයුතු කරමින් සිටින බවත් ඇය සඳහන් කළාය.

"පාර්ලිමේන්තුවේ පරිගණකවලට අනවසරයෙන් ඇතුළුවීමේ උත්සාහයක් පිළිබඳව පාර්ලිමේන්තුවට දැනගැනීමට ලැබිණ. ඒ පිළිබඳව අපි දිගටම පරීක්ෂණ පවත්වමින් සිටින්නෙමු," යනුවෙන් ඇය කියා සිටියාය.

එබැවින් පාර්ලිමේන්තුවේ පරිගණකවලට බාහිරව පිවිසීමේ හැකියාව තාවකාලිකව නවතා දමා තිබෙන බවත් ඇය සඳහන් කළාය.

මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුලින්ම අනාවරණය කරනු ලැබුවේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ රෙනාර්ඩ් සාමි මන්ත්‍රීවරයා විසිනි.

සිය ඊමේල් පණිවුඩවලට පිවිසිය නොහැකි බැවින් කිසියම් හදිසි පණිවුඩයක් තිබෙන්නේ නම් තමන්ට කෙටි පණිවුඩයක් එවන මෙන් ට්විටර් පණිවුඩයක් මගින් ඔහු සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

මීට මාසයකට පමණ ඉහතදී එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවයේ පළාත් ගණනාවක පරිගණක පද්ධති අඩපණ විය.



බීබීසී පුවත් ඇසුරින්