පොල් තෙල් සිරුරට හිතකර නොවේ

සත්ව තෙල් සහ බටර්වලට වඩා පොල් තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකර බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

එක්සත් ජනපදයේ විශේෂඥ කණ්ඩායමක් විසින් කරන ලද මෙම පර්යේෂණයෙන් සනාථ වී ඇත්තේ පොල් තෙල්වල අඩංගු මේදය හේතුවෙන් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාහැකි බවය.

පොල් තෙල් සෞඛ්‍යයට හිතකර බවට මීට පෙර ප්‍රකාශ වී තිබුණු නමුත් එය සනාථ කළ හැකි අධ්‍යයන සාක්ෂි තවමත් ඉදිරිපත් වී නොමැති බව ඇමරිකානු හෘදය සම්මේලනය (American Heart Association) පවසයි.

මෙම අධ්‍යයන වාර්තාවේ සඳහන් වන්නේ සිරුරට අහිතකර මේදයෙන් පොල් තෙල් අනූන බවය.

සත්ව තෙල් සෞඛ්‍ය සම්පන්න නොවන අතර ඔලිව් සහ සූරියකාන්ත වැනි ශාක තෙල් වර්ග ආහාරයට එක්කර ගැනීම සුදුසු වන බව වෛද්‍ය මතය වී තිබේ.

එම වෛද්‍ය නිර්දේශය පදනම් වී ඇත්තේ එක් එක් තෙල් වර්ගවල පවතින හිතකර මේදයේ සහ අහිතකර මේදයේ ප්‍රතිශතය මතය.

නමුත් ඇමරිකානු විශේෂඥයන් විසින් කරන ලද නවතම පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ පොල් තෙල්වල පවතින මේදයෙන් 80%ක් සිරුරට අහිතකර බවය.

ඒ අනුව බටර් මේදය (63%), ගව මේදය (50%) සහ උරු මසින් ලැබෙන මේදයට (39%) වඩා පොල් තෙල් මේදය ශරීරයට අහිතකර බව ඇමරිකානු හෘදය සම්මේලනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ඇතැමුන්ගේ තර්කය වී ඇත්තේ පොල් තෙලෙහි අඩංගු 'මේද මිශ්‍රණය' සිරුරට හිතකර බවය. නමුත් එය තහවුරු කිරීම සඳහා ප්‍රමිතිගත සාක්ෂි නොමැති බව ඇමරිකානු හෘදය සම්මේලනය පවසයි.

කෙසේ නමුත් විටමින් A, D සහ E අවශෝෂණය සඳහා මේදය උපකාරී වන බැවින් මේද සහිත ආහාර සම්පූර්ණයෙන්ම කපා හැරීම සෞඛ්‍ය සම්පන්න නොවන බව වෛද්‍යවරු පවසති.

උපුටා ගැනීම: බි බි සි සිංහල