විද්‍යුත් මෝටර් රථයට ජර්මනියෙන් තල්ලුවක්

අමෙරිකානුවකු දෛනිකව මෝටර් රථයක් පදවන සාමාන්‍ය දුර ප්‍රමාණය කිලෝමීටර් 48කි (සැතපුම් 30කි). විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයකට එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් එමෙන් තුන් ගුණයක දුරක් ගමන් කළ හැකිය. අමෙරිකාවේ වීථිවල තවමත් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ෆොසිල ඉන්ධන දහනයයෙන් ගමන් ගන්නා මෝටර් රථවාහන වීමට මෙය එක් ප්‍රධාන කාරණයකි. අමෙරිකානුවන් වැඩි දෙනකු කල්පනා කරන්නේ ඉලෙක්ට්‍රික් වාහනයකට මාරු වීමේ අවශ්‍යතාවක් නැති බවයි.

අමෙරිකාවේ තත්ත්වය එසේ වුවද ජර්මනියේ තත්ත්වය ඊට වෙනස්ය. මරෙක් වෝල්ටර්ගේ නායකත්වය යටතේ දියත් වූ පර්යේෂණාත්මක ව්‍යාපෘතියකදී එක් විදුලි ආරෝපණ වාරයකින් කිලෝමීටර් 1000ක (සැතපුම් 620ක) දුරක් ගමන් කළ හැකි බැටරියක් නිපදීමට හැකි වී තිබේ. වෝල්ටර් පවසන පරිදි මේ ව්‍යාපෘතිය ඇරුඹී ඇත්තේ මීට තුන් වසරකට ඉහතදීය. එහිදී පර්යේෂකයන්ගේ මූලික අවධානය යොමු වූයේ මෝටර් රථවල භාවිත වන ලිතියම් බැටරිවල බලශක්ති ධාරිතාව ඉහළ නංවන්නේ කෙසේද යන්න ගැනය.

ආරම්භයක් ලෙස ඔවුන් මේ සඳහා තෝරාගත්තේ ඉලෙක්ට්‍රික් කාර් අතර වැඩි ජනප්‍රියත්වයක් 'ටෙස්ලා' මෝටර් රථයයි. එම මෝටර් රථවල නවතම මාදිලිය වන S 100 D රථයට කිලෝවොට් පැය 100ක බැටරි ඇසුරුමක් යොදා තිබේ. එක්වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 540ක දුරක් ධාවනය කිරීමේ හැකියාව ඊට ඇත. ගැටලුවකට ඇත්තේ එම බැටරි ඇසුරුම ප්‍රමාණයෙන් විශාල වීමය. එය අඩි 15ක් දිගින් යුතු වන අතර, පළල අඩි 6කි. එහි ඝනකම අඟල් 4ක් වේ. ලිතියම් අයන් විදුලි කෝෂ 8000ක් මේ ඇසුරුමට ඇතුළත්ය. එම එක් විදුලි කෝෂයක් අඟල් 2-3ක් පමණ උසකින් යුක්ත වන අතර, අඟල් 0.8ක් පමණ පළලින් යුතුය.

ටෙස්ලා රථයට හඳුන්වා දෙන නව බැටරියටද එම ඉඩ ප්‍රමාණයම වැය වුවද වැඩි බලශක්ති ධාරිතාවක් උත්පාදනය කිරීම පර්යේෂකයන්ගේ සැලැස්ම විය. එනම් එක් ආරෝපණ වාරයකින් කිලෝ මීටර් 1000ක දුරක් සම්පූර්ණ කිරීමයි.

බැටරි ධාරිතාව වැඩි කිරීමට හැකි එක් ආකාරයක් නම් එතුළ ඇති ද්‍රව්‍ය පිරිපහදු කිරීමය. එමගින් වැඩි ශක්ති ධාරිතාවක් ගබඩා කරගැනීමට හැකියාව ලැබේ. තවත් ආකාරයක් නම් එම පද්ධතියම සමස්තයක් ලෙස වැඩිදියුණු කිරීමය. සෑම කෝෂයකම සියයට 50ක් පමණ යෙදවෙන්නේ එහි වැස්ම වැනි සංරක්ෂකවලටය. ඇනෝඩය සහ කැතෝඩය අතර විද්යුත් විච්ඡේදන ක්‍රියාවලිය මඟින් ආරෝපිත අංශු තරල මාධ්‍ය ඔස්සේ පරිවහනය කිරීම කෝෂයකදී සිදු වේ. ඊට යෙදවෙන ප්‍රමාණය හැරුණු විටමෝටර් රථයේ ඉඩ ප්‍රමාණයක් අභ්‍යන්තර වශයෙන් බැටරි ඇසුරුම වාහනයේ විද්යුත් පද්ධතිය හා සම්බන්ධ කිරීමටද වැය වේ.

වෝල්ටර් පෙන්වා දෙන අන්දමට ඒ ඉඩ ප්‍රමාණය අවකාශය විශාල වශයෙන් අපතේ හැරීමකි. පද්ධතිය තුළ විශාල වශයෙන් ඇති අක්‍රිය සංචරක මේ සඳහා යොදාගැනීමේ හැකියාව තිබේ. දැනට ඔවුන්ට විසඳාගැනීමට ඇති තැනද මෙයමය. ඊට පිළියම් යෙදීමට නම් සමස්ත සැලැස්ම ප්‍රතිනිර්මාණය කළ යුතු බව විද්‍යාඥයන්ගේ අදහසයි. ඔවුහු ඊට වෑයම් කරමින් සිටිති.