වත්මන් අධ්‍යාපන ක්‍රමයේ අඳුරු පැතිකඩක් හෙළිකරන පේරාදෙණියේ උපාධිදාරිනියගේ සියදිවි නසා ගැනීම...

 
මෙම සටහන තබන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය අවකාශය ද ඇතුළුව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට ලක්ව ඇති අදින් දිනකට පෙර වාර්තා වූ පේරාදෙණිය සරසවි උපාධිදාරිනියගේ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙනි. කෙසේ වුවත් මෙම සිදුවීම තවත් එක් සියදිවි නසා ගැනීමක් වශයෙන් පමණක් සලකා නොසලකා හැරිය හැකි සිදුවීමක් නොවන බව අවධාරණය කිරීම පිණිස මෙම සටහන තැබීම වැදගත් බව සිතුවෙමි. මන්ද යත් සියදිවි නසා ගැනීම් දුලබ නොවන මෙරට තුළ මෙම සියදිවි නසා ගැනීම ද තවත් එක් සිදුවීමක් පමණක් වශයෙන් සලකා බොහෝ දෙනා විසින් කටයුතු කරන බැවිනි. එහෙත් සමාජයේ පිළිගැනීමට ලක්වන එක්තරා සමාජ මට්ටමකට පැමිණි තැනැත්තියකගේ මෙම ක්‍රියාව එම සමාජ මට්ටමට කිසිසේත් උචිත නොවන බැවින් සහ එවැනි සමාජ මට්ටමකට පැමිණි තැනැත්තියක් පවා තම ජීවිතයේ දී මුහුණ දීමට සිදුවූ ප්‍රශ්නයකට මෙවැනි සියදිවි නසා ගැනීමක් ඔස්සේ පිළිතුරු සෙවීමට යොමු කරවූ මානසික තත්ත්ව සම්බන්ධයෙන් ද යම් විග්‍රහයකට එළඹීම වැදගත් වන බැවින් මෙම සටහන තබමි.

මේ වන විට ඇගේ මෙම අනපේක්ෂිත වියෝව පිළිබඳ ඇගේ මිතුරු මිතුරියන් ඇතුළු විවිධ පුද්ගලයින් සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ සිය අදහස් ඉදිරිපත් කරමින් සිටියි. එම අදහස් ඔස්සේ ශෝකය කණගාටුව මෙන්ම ඇතැම් අවස්ථාවල එම සියදිවි නසා ගැනීම පිළිබඳ වෛරය පවා ප්‍රකාශ කර තිබේ. ඇගේ එම මිතුරු මිතුරියන්ගේ අදහස් දැක්වීම් මේ වන විට ගොස්ප් වෙබ් අඩවි තුළින් සංසරණය වීම ද සිදු වන බැවින් සිය දිවි නසාගත් තරුණිය පිළිබඳ විවිධ ආකල්ප සමාජය තුළ ඇති කරවීමට ඒවා සමත් වී ඇති බවද පැවසිය යුතුය. කෙසේ වුවත් මෙම සියලු සාධක ඔස්සේ මෙම උපාධිදාරිනියගේ සිය දිවි නසා ගැනීම වඩාත් උණුසුම් මාතෘකාවක් වශයෙන් සමාජය තුළ කතාබහට ලක්වන බැවින් එම සියදිවි නසා ගැනීම ඔස්සේ සමාජයේ අවධානයට යොමු විය යුතු කරුණක් සම්බන්ධයෙන් මෙම සටහන තුළදී සාකච්ඡාවට ලක් කරමි.

එනම් ඉකුත් 3 වන දින කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ පොඩි මැණිකේ දුම්රියට සිය අවසන් හුස්ම භාර කළ තරිනි සිරිවර්ධන නැමැති තරුණියගේ මෙම සියදිවි නසා ගැනීම සිදු වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ උපාධිදාරිනියක වශයෙන් ඇය සිය උපාධිය ලබා ගන්නා උපාධි ප්‍රදානෝත්සවය දැනට සතියකට පමණ පෙර පැවැත්වීමෙන් පසුවය. එයින් පසුව එම පීඨයේම පුහුණු කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කිරීමට ද ඇයට අවස්ථාව හිමිවන අතර එසේ වන්නේ ඇය සිය උපාධි අධ්‍යයන කාර්යය තුළ ලැබූ සාර්ථකත්වය හේතුවෙනි. එහෙත් අධ්‍යාපනයෙන් පමණක් සාර්ථකත්වය ලැබීම ජීවිතයේ සාර්ථකත්වය ලැබිය හැකි එකම මඟ වශයෙන් අවධාරණය වන මෙරටේ වත්මන් සමාජ ක්‍රමය තුළ මෙම තරුණිය සිය ජීවිතය බිළිදෙමින් ප්‍රකාශ කර සිටින්නේ එය එසේ නොවන බව වේ. එනම් එක් අතකින් අධ්‍යාපනය පමණක් ජීවිතය බව සිතා කටයුතු කරන පාර්ශවයන්ට මෙම සියදිවි නසා ගැනීම ඔස්සේ යම් පණිවිඩයක් ලබා ගත හැකි අතරම තවත් අතකින් පෙන්නුම් කරනු ලබන්නේ අධ්‍යාපනය ලබා ගැනීම ඔස්සේ බලාපොරොත්තු වන්නා වූ බුද්ධිය වර්ධනය කරලීමේ අරමුණ ද මෙම සියදිවි නසා ගැනීම ඔස්සේ ප්‍රශ්නගත කර ඇති බවය. එසේම අධ්‍යාපනය තුළින් ඉහළට ගිය පමණින් ඔහු හෝ ඇය බුද්ධිමතෙකු බව තහවුරු කළ නොහැකි වන බවට වන සමාජය තුළ සංවාදයට බඳුන් විය යුතු ප්‍රශ්නාර්ථයක් ද මෙමඟින් ඉස්මතු කර තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් විග්‍රහයකට එළඹීම තුළ අනාගතයේ දී හෝ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුනොවීමට යම් සමාජ කතිකාවතක් සඳහා පදනම සකස් කළ හැකිය.

තරිනි නැමැති මෙම උපාධිදාරී තරුණිය සිය දිවි නසා ගැනීම සඳහා යොමු වන්නේ ප්‍රේම සම්බන්ධතාවක් හේතු කර ගනිමින් වන බවට පැවසේ. එහෙත් එය නිශ්චිත වශයෙන්ම තවමත් හෙළිදරව් නොවුණ නමුත් කවර හෝ හේතුවකට කිසිවෙකු හෝ සියදිවි නසා ගැනීමකට යොමු වන්නේ ඔහු හෝ ඇය ජීවිතය සම්බන්ධයෙන් ලබා ඇති අවම අත්දැකීම් ප්‍රමාණය හේතුවෙනි. එනම් තමාට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රශ්නකාරී තත්ත්වය වැනි අවස්ථාවක දී වෙනත් පුද්ගලයින් විසින් ඒවාට පිළිතුරු සොයා ගත්තේ කෙසේද යන වග සහ එවැනි ප්‍රශ්නයක් සඳහා විසඳුම් ලබා ගත හැකි මාර්ග සම්බන්ධයෙන් පවත්නා නොදැනුවත්කමද මෙවැනි තත්ත්ව ඇති වීම සඳහා හේතු වේ. එසේම එවැනි කිසිදු ආකාරයකින් තම ගැටළුව විසඳා ගැනීම සඳහා යොමු වීමට තරම් මානසික තත්ත්වයක් ඇති වීම සඳහා බලපානු ලබන මානසික පරිණිතය ලබා නොතිබීම ද මෙවැනි අවාසනාවන්ත තත්ත්ව ඇති වීම සඳහා හේතු වන බව පැවසිය හැකිය.

මෙම සිදුවීම ඔස්සේ අප විසින් දැඩිව අවධානයට ලක්විය යුතු වත්මන් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීම වැදගත්ය. එනම් මෙරටේ වත්මන් අධ්‍යාපන ක්‍රමය විසින් උගතුන් පමණක් තොග ගණනින් බිහි කළ ද ඔවුන් අතරින් බුද්ධිමතුන් බිහි නොවීමේ ඛේදවාචකය ද මෙම සිදුවීම ඔස්සේ හෙළිදරව් වේ. විශේෂයෙන්ම පොතට පතට මෙන්ම වර්තමානයේ දී පරිගණක හා අන්තර්ජාලය ඇසුරින් ද ලබන්නා වූ අධ්‍යාපනය තුළ ආකල්පමය හෝ කුසලතා සංවර්ධනයක් සිදු වන්නේ ද යන්න සම්බන්ධයෙන් අප විසින් නැවතත් සිතා බැලිය යුතු තත්ත්වයක් උද්ගත වී ඇති බව පැවසිය හැකිය. මන්ද යත් අධ්‍යාපනය යනුවෙන් හඳුනාගත හැක්කේ දැනුම පමණක් ලබා ගැනීම නොවන අතර එය දැනුම, කුසලතා මෙන්ම ආකල්ප නැමැති සාධක ත්‍රිත්වයේම සංකලනයක් විය යුතු බැවිනි.

කෙසේ වුවත් මෙරටේ පවත්නා වත්මන් අධ්‍යාපන රටාව තුළින් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයකි. එනම් සරසවි අධ්‍යාපනයට පිවිසෙන තෙක්ම දැනුම පසුපස පමණක් හඹා යන අධ්‍යාපන ක්‍රමවේදයක් සහ ඒ ඔස්සේ ගොඩනැංවුණ සමාජ සංස්කෘතියක් වර්තමානයේ මෙරට තුළ නිර්මාණය වී තිබීම ඔස්සේ කෙතරම් ඉහළ අධ්‍යාපන මට්ටමකට ළඟා වුවද සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්නයකට විසඳුම් සොයා ගැනීමටවත් නොහැකි තරමට මානසික වශයෙන් පරිණතියක් නොලැබීම තුළ අතිශය අවාසනාවන්ත මෙවැනි තත්ත්ව වාර්තා වෙමින් තිබේ.

මෙරටේ වර්තමාන අධ්‍යාපන රටාව මූලික වශයෙන් ගොඩනැඟී ඇත්තේ විභාග මූලික කරගත් ක්‍රමවේදයක් ඔස්සේය. එනම් පළමු ශ්‍රේණියට ඇතුළත් කරනු ලබන දරුවා එයින් වසර දෙකකට පසු එනම් තුන් වන ශ්‍රේණියේ සිට විභාග මානසිකත්වයකට බලෙන් ඇතුළු කිරීම සිදු කරනු ලබයි. ඒ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට එම දරුවන් සූදානම් කරවමිනි. අද වන විට උසස් පෙළ විභාගය හා සාමාන්‍ය පෙළ විභාගය තරමටම එයට සමාජයීය වටිනාකමක් ලබා දී එම විභාගය ද ජීවිතයේ එක් කඩයිමක් බව නිරන්තරයෙන් දරුවාගේ මානසිකත්වය තුළ තහවුරු කිරීම සිදු කර තිබේ. මෙම තත්ත්වය සඳහා මාධ්‍ය විසින් ද වගකිව යුතු වන අතර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගන්නා දරු දැරියන් මාධ්‍ය ඔස්සේ ද ඔසවා තැබීම තුළ එම විභාගයට මුහුණ දෙන වෙනත් දරුවන් තුළ විභාගය සම්බන්ධයෙන් උත්ප්‍රේරකයක් ඇති වනවාට වඩා ඒ ඔස්සේ විභාග භීතිකාවක් නිර්මාණය කර එය අසමත් වීම සමාජය ඉදිරියේ ලජ්ජාවට පත්විය හැකි කරුණක් වන බවට වන මානසිකත්වයක් ඇති කිරීම සිදුවේ. එබැවින් ඒ ඔස්සේ විභාග රටාවට අවතීර්ණ වන දරුවා විභාග රටාව තුළ දැනුම පමණක් ග්‍රහණය කර ගනිමින් ජීවිතය සම්බන්ධයෙන් ලැබිය යුතු කිසිදු අත්දැකීමක් ජීවිතයේ හතරෙන් එකක් පමණ ගතවන තෙක් ලබා නොගැනීම තුළ බුද්ධිය වර්ධනය වීම වෙනුවට කටපාඩම් කර ගත් කෘතිම දැනුමක් පමණක් සහිත උගතුන් බිහිවීම සිදු වෙමින් තිබේ.

ඒ අනුව පැවසිය යුතු වන්නේ මෙවැනි අධ්‍යාපන රටාවක් තුළින් උපාධිදාරිනියක් බවට පත්වී ඉන් සතියකට පසු ජීවිතයට අවාසනාවන්ත තත්ත්වයක් උදාකර ගත් පේරාදෙණිය සරසවියේ තරුණියගේ සියදිවි නසා ගැනීම ඔස්සේ ඇගේ එම මරණය සඳහා බලපෑ ආසන්නතම සිදුවීම පමණක් නොව එවැනි තත්ත්ව ඇති කිරීම සඳහා හේතු වූ වත්මන් අධ්‍යාපන රටාව තුළින් මඟහැරී ඇති තත්ත්ව සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම අතිශය වැදගත් වන බවය. විශේෂයෙන්ම ඒ සඳහා අධ්‍යාපනඥයින් හා මනෝවිද්‍යාඥයින් ඇතුළු පාර්ශව වල දායකත්වය හා මැදිහත් වීම අත්‍යවශ්‍ය වන බවද පැවසිය යුතුය. ඒ ඔස්සේ අනාගතයේ දී හෝ ඇති විය හැකි මෙවැනි අවාසනාවන්ත තත්ත්ව වැළැක්වීම සඳහා කටයුතු කළ හැකි වන අතර එසේ නොවී මෙම සිදුවීම ද තවත් එක් සාමාන්‍ය සිදුවීමක් වශයෙන් සලකා නොසලකා හැරීම තුළ උගතුන් වශයෙන් සමාජයට සේවය කළ යුතු පිරිස් මෙවැනි අතාර්කික විසඳුම් තුළින් ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමට උත්සාහ කිරීම වැළැක්විය නොහැකි වනු ඇත.

සුරෝෂන ඉරංග
ජනමාධ්‍ය අධ්‍යයනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී පාලි මණ්ඩපය