සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් අපි ඇති කර තිබෙනවා. පොහොසත් අය මේ සංවර්ධනය දකීද මා දන්නේ නැහැ - අගමැති

කොළඹසුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ 2019.09.13 දින පැවැති නාගරික නිවාස විප්ලවයඅඩු ආදායම්ලාභී පවුල් 3300 ක් වෙත නිවාස පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

මෙම උත්සවයේදී නිවාස 3300 ක් අපි ජනතා අයිතියට පත් කරනවා. 2005 සිට 2015 දක්වා වසර 10ක කාලය තුළ පසුගිය රජයට සැදීමට හැකියාව ලැබුණේ නිවාස 4689 ක් පමණයි. අද දින පවත්වන උත්සවය මගින් පසුගිය රජය සෑදු නිවාස ප්‍රමාණය මෙන් 75% ක් අපි ජනතාවට ලබාදෙනවා. 2015 දී අපේ ඉලක්කය වූයේ නිවාස 20,000 ක් ගොඩනැගීමයි.  වත්මන් රජය මගින් මේ වන විට නිවාස 12,000ක් සාදා නිමකර තිබෙනවා. පසුගිය වසර 60 දී සෑදු නිවාස සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් අපි දැනට සාදා තිබෙනවා. ලබන වසරේදී නිවාස 20,000 ක ඉලක්කයට අපි ළඟා වෙනවා.
කොළඹ අලූත් මහනගරය බවට පත්කිරීම අපේ අරමුණයි. එහි ආරම්භය මෙම නිවාස ලබා දීම හරහා අපි සිදුකරනවා. පැල්පත්වල ජීවත්වූ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඔවුන්ගේ පැල්පත් වෙනුවට තට්ටු නිවාසයක් ලබා දීම මගින් කොළඹ මහ නගරය ගොඩනැගීමේ වැඩපිළිවෙල අපි ආරම්භකර තිබෙනවා. අපි පෙන්වා දී තිබෙන වෙනස එයයි.
කොළඹ අලූත් කිරීම ආරම්භ කරමින් පසුගිය ආණ්ඩුව සිදු කලේ රේස් කෝස් පිටියේ ඇවිදින මන්තීරු නිර්මාණය කිරීමයි. එමගින් කොළඹ සිටින පොහොසත් අයට දුවන්න පහසුකම් සලසා දුන්නා. නමුත් අපි මහල් නිවාස 20,000ක් ජනතාවට ලබාදීමේ ව්‍යාපෘතිය හරහා කොළඹ නව්‍යකරණය කිරීම ආරම්භ කරනු ලැබුවා. කොළඹ නිදහස් චතුරශ්‍රය වටා ඔවුන් සංවර්ධනයේ වෙනස පෙන්නුවා. නමුත් සාමාන්‍ය දුප්පත් ජනතාවට එම සංවර්ධනය දැනුනේ නැහැ. අපගේ සංවර්ධන ව්‍යාපෘති කොළඹ උතුර, බොරැල්ල, මැද කොළඹ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් අපි ඇති කර තිබෙනවා.  පොහොසත් අය මේ සංවර්ධනය දකීද මා දන්නේ නැහැ. කෙසේ වෙතත් දුප්පත් ජනතාවට දැනෙන ඔවුන්ගේ ජීවිතවල වෙනසක් සිදුකරනු ලබන විප්ලවීය සංවර්ධනය මෙයයි.
නිවාස ගොඩනැගීම මහා කොළඹ නගරය ගොඩනැගීමේ ක්‍රියාවලියේ වැදගත් කාර්යයක්. මීට අමතරව රත්මලාන, දෙහිවල, මොරටුව, කොළොන්නාව, කෝට්ටේ වැනි නගර සංවර්ධනය කරමින් ඒවාද මහ නගරය ගොඩනැගීමේ ක්‍රියාවලියට සම්බන්ධකර ගැනීමට අපි කටයුතු කරනවා.  ඉදිරියේදී ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වන්නේ මෙම මහ නගරයයි. එම වැඩපිළිවෙලෙහි ආරම්භය මෙම නිවාස ව්‍යාපෘතිය ජනතාවට ලබා දීම හරහා සිදුවෙනවා.
මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ජනතාවට භුක්තිවිඳීමට ලැබෙන්නේ මහ නගරයෙන් ගොඩනැගෙන පසුබිමකයි. අපගේ සංවර්ධන ක්‍රියාවලියේ ඇති වෙනස එයයි. මහා නගරය ගොඩනැගීම් කටයුතු මෙන්ම බස්නාහිර සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කළ චම්පික රණවක ඇමතිතුමාට මා ස්තුතිවන්ත වෙනවා. 2015 දී බලයට පත්වීමෙන් පසු මහ නගරයක් ගොඩනගන බව අපි ප්‍රකාශ කළා. එම කටයුත්ත සඳහා වඩාත් සුදුසු පුද්ගලයා ලෙස මා චම්පික රණවක අමාත්‍යතුමා යෝජනා කළා. ඔහු කොතරම් බාධක ගැටළු පැමිණියත් බාරගත් කාර්යයන් සාර්ථකව ඉටුකරන ඇමතිවරයෙක් ලෙස හැ¼දින්වීමට පුළුවන්.
මේ සංවර්ධන ව්‍යාපෘතිය හරහා අපි රටට පෙන්වා දෙන්නේ ආණ්ඩුවක් ලෙස වැඩකිරීමට අපට ඇති ශක්තියයි. පසුගිය අවුරුදු 60ක කාලය තුළ පැවති ආණ්ඩු නිවාස 12,230ක් සාදා තිබෙනවා. අපේ ආණ්ඩුව පසුගිය වසර කිහිපය තුළ පමණක් නිවාස 12,855ක් ගොඩනගා තිබෙනවා. මෙය අවසන් වන්නේ නිවාස 20,000ක් ගොඩනැගීමෙන් පසුවයි. ඒ අනුව නිවාස 75,000ක් පවතින කොළඹනගරයට අපි තවත් නිවාස 20,000ක් එක් කරනු ලබනවා. කිසිදු බාධාවකින් තොරව ඉදිරි වසර පහ තුළදි තවත් නිවාස 30,000ක් ගොඩනැගීමට අපට හැකියාව තිබෙනවා.
කොළඹ අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස ලබාදීම එකල සිටම මාගේ එක් අරමුණක් වුණා. ඒ අරමුණ අද ඉටුවීම පිළිබදව චම්පික රණවක අමාත්‍යතුමාටත්, එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් මා ස්තුතිවන්ත වෙනවා. තවත් වැඩකටයුතු රැසක් අපට සිදුකිරීමට තිබෙනවා. එහිදී උතුරු කොළඹ, බොරැල්ල, නැගෙනහිර කොළඹ, මෙන්ම කොළඹ වටා පිහිටි නගර රැසක් සංවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි. මෙම නිවාස ව්‍යාපෘතිය එහි ආරම්භයක් පමණයි. මෙතැන් සිට ඇරඹෙන්නේ අපි ගොඩනගන මහ නගරයයි.
මේ වැනි සංවර්ධනයක් අපි සිදු කළේ ඒකාධිපති ආණ්ඩුවක් හරහා නොවෙයි. ඒකාධිපති ආණ්ඩුවට සැදීමට හැකි වූයේ  නිවාස 4,000ක් පමණයි. නමුත් අපි මේ නිවාස 12,000 ඉදිකලේ පාර්ලිමේන්තු බහුතරය පවා නොමැති ආණ්ඩුවක් ලෙසයි. අපේ ආණ්ඩුව සුදු වෑන්වලින් පැහැර ගැනීම් සිදුකළ ආණ්ඩුවක් නොවෙයි. අපේ ආණ්ඩුව විවේචන, ඇනුම් බැනුම්වලට ඉඩදුන් ආණ්ඩුවක්. එවැනි තත්වයක් තුළ අපි නිවාස 12,000 ඉදිකරනු ලැබුවා.
අපේ ආණ්ඩුව සුදුවෑන් සංස්කෘතියට තිත තබමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු ලැබුවා. කිසිදු බාධාවකින් තොරව පෙළ පාලි - උද්ඝෝෂණ සිදුකිරීමට අපි අවස්ථාව ලබා දුන්නා. එය තුළ විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වැටීමට අපි ඉඩ දුන්නේ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගුවා සේම නිවාස ද ගොඩනගනු ලැබුවා.
අත්තිවාරමේ සිට ගඩොලින් ගඩොල, කොන්ක්‍රිට් තට්ටුවෙන් තට්ටුව මෙම තට්ටු නිවාස ගොඩ නැගඣ  ආකාරයටම රටේ නැතිවී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය අපි ගොඩනගනු ලැබුවා. රටේ නිවාස 20,000 ක්  ගොඩනැගුනේත් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගු ආණ්ඩුවක් හරහායි.
මෙම සංවර්ධන ක්‍රියාවලිය අපි සිදුකරනු ලැබුවේ ඒකාධිපති බලයක් නොමැති පාර්ලිමේන්තු බහුතර බලයක් නොමැති පසුබිමක් තුළයි. නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගමින් රටේ නිදහස් වාතාවරණයක් ගොඩනගමින් අපගේ ආණ්ඩුව මෙම සංවර්ධනය සිදු කරනු ලැබුවා.
නිවාස ගොඩනැගීම පමණක් නොව මහමාර්ග ඉදිකරමින් අධිවේගී මාර්ගයේ සිට ග්‍රාමීය මාර්ග දක්වා අපි සංවර්ධන කටයුතු සිදුකරනු ලබනවා. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් විශේෂ වැඩසටහන් ගණනාවක් ඔස්සේ අපි යොදවා තිබෙනවා. එම ආයෝජනය හරහා රටේ සෑම ප්‍රදේශයකම දියුණුවක් ඇති වෙනවා. මෙම සංවර්ධනය සිදු කරන්නේ ඒකාධිපති ආණ්ඩුවක් නොව බහුතර පාර්ලිමේන්තු බලයක් නොමැති ආණ්ඩුවක් බව මා නැවතත් ප්‍රකාශ කර සිටිනවා. බහුතර බලය තිබූ ඒකාධිපති ආණ්ඩුවකට වඩා විශාල වැඩ කොටසක් සිදුකර එහි ප්‍රතිඵල රටට ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍ර පහසුකම් වර්ධනය කරමින් හදවත් රෝගීන් සඳහා නොමිලේ ස්ටෙන්ට්  ලබාදීමටත්, රෝහල් දියුණුකර නවීන උපකරණ ඒවා සඳහා ලබාදීමටත් අපේ ආණ්ඩුව ක්‍රියාකර තිබෙනවා. මෙම වැඩපිළිවෙල ඒකාධිපති හෝ බහුතර බලයක් තිබූ ආණ්ඩුවක් ලෙස නොව දක්‍ෂතම හා කැපවීමෙන් එකට එක්ව ක්‍රියාකල ආණ්ඩුවක් ලෙස අපි සිදුකරනු ලැබුවා.
අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන්ද වැඩිම වියදමක් සිදුකර ඇත්තේ පසුගිය වසර 4ක කාලය තුළයි. පාසල් දියුණු කරමින් පුහුණු ගුරුවරු බඳවා ගනිමින්, පාසල් සිසුන් රක්ෂණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට විශාල වැඩ කොටසක් සිදුකිරීමට අපට හැකි වුණා. එයට ඒකාධිපති බලයක් අවශ්‍ය වන්නේ නැහැ. අපි එය සිදුකළේ ආණ්ඩුවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින්, නිවාස, මාර්ග, සෞඛ්‍ය අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් දියුණු කරමින් බව මා ප්‍රකාශ කර සිටිනවා.
විමධ්‍යගත අයවැය, ගම්පෙරළිය මෙන්ම තවත් සංවර්ධන වැඩසටහන් රැසක් යටතේ නගර මෙන්ම ගම්වලද විශාල සංවර්ධනයක් සිදුවෙමින් පවතිනවා. මීට පෙර ග්‍රාමීය මට්ටමෙන් මෙවැනි සංවර්ධනයක් සිදුවූයේ නැහැ. මේ සියල්ල සිදුකරනු ලැබුවේ ඒකාධිපතියෙක් නොවෙයි. පාර්ලිමේන්තු බහුතරය පවා නොමැති අපේ ආණ්ඩුවයි.
ඉතිහාසය දෙස බැලීමේදී බහුතර බලයක් නොතිබූ එකම ආණ්ඩුවද අපේ ආණ්ඩුවයි. එමෙන්ම රටේ වැඩිම සංවර්ධනයක් සිදු කළ ආණ්ඩුවද අපගේ ආණ්ඩුවයි. රටේ පැවති ඒකාධිපති මෙන්ම අනෙකුත් ආණ්ඩුවලට අවුරුදු 20න් ලබාදීමට නොහැකි වූ සමෘද්ධි දීමනාව බහුතර බලයක් නොමැති අපේ ආණ්ඩුව ලබා දුන්නා.
රටට වැඩ කිරීමට ඒකාධිපති බලයක් අවශ්‍ය වන්නේ නැහැ. එයට අවශ්‍ය වන්නේ දක්ෂතාවය හා හැකියාවයි. බහුතර බලයක් නොමැතිව විශාල වැඩ කොටසක් සිදුකළ අපගේ ආණ්ඩුවට බහුතර බලයක් තුලින් රට දියුණුකර දුප්පත්කම නැති කිරීමට හැකියාව ඇති බව මා අවධාරණය කර සිටිනවා. ඉදිරි වසර 5 සඳහා ද අපි වරමක් ඉල්ලා සිටින්නේ අපි ඇති කළ ආණ්ඩුක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යාමටයි.
බහුතරය හිමි ඒකාධිපති ආණ්ඩුව අපට බාරදුන්නේ මීතොටමුල්ල කුණු කන්ද වැනි විශාල ණය කන්දක්. නමුත් රටේ ආර්ථිකය කඩා වැටීමට අපි ඉඩ දුන්නේ නැහැ. කෙසේ හෝ ණය ගෙවමින් රටේ සංවර්ධනය ඇති කිරීමට අපි ක්‍රියාකළා. දැන් රට ඉදිරියට ගමන් කරනවා.
"ඒකාධිපති බලය ලබා දෙන්න. එවිට රටට වැඩ කරන්නම්" යනුවෙන් වැඩකිරීමට නොහැකි අදක්‍ෂයන් බලය ඉල්ලා සිටිනවා.
ඒකාධිපති පාලකයන් කෙතරම් සිටියත් රට සංවර්ධනය කිරීමට නොහැකි වුණා. එය වාර්තා දත්ත ඇසුරින් පෙන්වා දීමට හැකියාව තිබෙනවා. දැන් නැවත ඒකාධිපති බලය ඉල්ලා සිටින්නේ වැඩ කිරිමට නොහැකි පිරිසයි.
අපිට ලබා දුන්නේ සම්පූර්ණ වරමක් නොවෙයි. නමුත් ඒ වගකීම අපි භාරගනු ලැබුවා. එම තත්වය තුළ රට මෙතරම් දුරක් ඉදිරියට ගෙන ඒමට අපට හැකිවුණා. එසේ නම් ඉදිරියේදී ශක්තිමත් වරමක් ලබා ගනිමින් මෙම සංවර්ධනය දෙගුණයක, තෙගුණයක වේගයකින් ඉදිරියට  ගෙන යන බව මා ප්‍රකාශ කර සිටිනවා.   අවසාන වශයෙන් නිවාසලාභී සියලූ දෙනාටම මා සුභ පැතුම් පිරිනමනවා.
මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන්, ඒ.එච්.එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.