අද දැයෙන් සමුගන්නා ශිල්ප දුන් ශිල්පාධිපති

විසිවෙනි සියවස මුල් භාගය වනතෙක් ම දේශීය නර්තන කලාව ශාන්තිකර්මවලට පමණක් සීමා වී තිබුණි. එහි මූලික අරමුණුවලින් බැහැරව නිර්මාණාත්මක හා කලාත්මක චින්තනවලට අනුකූලව ප්‍රේක්ෂක හමුවට ගෙන ආවේ රවින්ද්‍රනාත් තාගෝර් 1934 දී ලංකාවට පැමිණීමෙන් පසුවය. එතුමාගේ මෙම චාරිකාවෙන් පසු නර්තන ක්ෂේත්‍රය තුළ ඇති වූ පුනර්ජීවනය අනෙකුත් කලා ක්ෂේත්‍ර උදෙසා ද ප්‍රබල ලෙස බලපෑමක් ඇති කිරීමට සමත් විය.  පණීභාරත. චිත්‍රෙස්න, මකුලොලු‍ව, ප්‍රේමකුමාර, වෙල්ගම වැනි දේශීය නර්තන ක්ෂේත්‍රයට අමිල සේවාවක් ඉටු කළ කලාකරුවෝ පාරම්පරිකව මෙරටෙහි පවත්වා ගෙන ආ නැටුම කලාත්මක අයුරින් කලා මාධ්‍යක් ලෙස වෙනස් මගකට යොමු කරලීමට පසු කාලයේ සමත් වූහ. මෙම වෙනස් වීමට ඇතැම් පාරම්පරික ශිල්පීන් අකැමැත්තක් දැක්වූ අතර ඇතැමෙක් ප්‍රසිද්ධියේ ම විරුද්ධව කටයුතු කළහ.

පාරම්පරික කලා පරපුරට අයත් පියසාර ශිල්පාධිපති ජන්ම ලාභය ලැබුවේ වර්ෂ 1945 මාර්තු මස 19 දිනදී පොල්ගහවෙලදීය. පාර්ම්පරික ශිල්පීය ගුණය නිර්මාණාත්මක චින්තනයට අනුව කුඩා කාලයේ සිට මෙහෙය වූ හෙතෙම ඉහත දැක්වූ කලාකරුවන් ගමන් ගත් මග ඔස්සේ පිය මං කළ අතර පසු කාලයේ චිත්‍රසේන වජිරා යුවල විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන්නේය.

ඔහු නර්තන ක්ෂේත්‍රයට පිවිසියේ තම කිරි අත්තා වූ සෙව්රංගා ගුරුතුමාගෙන් දණ්ඩියමේ සරඹ නැකතට අනුව ඉගෙන ගැනීමෙන් පසුවය. බෙර වාදනය පිළිබඳ තම මූලික අත්පොත තැබුවේ එවකට වාදනය පිළිබඳ ප්‍රසිද්ධියක් ඉසුලූ ශිල්පාධිපති ගුරුතුමාගෙන් ය. සුභවාදී බෙර පදයක් සේ සැලකෙන එහෙත් වාදනය කිරීමට අපහසු අංගුලියා පදය වාදනය කරමින් වාදන ක්ෂේත්‍රයට පිවිසීමට මුල පිරුවේය. වාදනය මෙන් ම නර්තනය තම ගුරු ගෙදර ඇසුරෙන් ලැබූ අතර 1957 වසරේ දී පොල්ගහවෙල වැලිගොඩපිටිය පන්සලේ කලඑළි මංගල්‍යය තම ඥාතීන් ඇතුලු‍ හිතවතුන් විශාල පිරිසක් ඉදිරියේ පැවැත්විය. තත්, ජිත්, තොං, නං යන බීජාක්ෂර හතර නිවැරදි ලෙස වාදනය කිරීමට අත හුරුකරගත් පියාසර පෙරලු‍ම් අත් හරඹ ද මනාලෙස වාදනය කරමින් තම වාදන හැකියාව ඉතා දක්ෂ ලෙස වර්ධනය කර ගත්තේය. ඇතැම් අවස්ථාවල බෙරය උපයෝගි කර ගනිමින් තබ්ලා පද ද වාදනය කළේය. මෙය දුටු ඔහුගේ පියා සතුටට පත් වූ අතර එම හැකියාව දියුණු කර ගැනීමට ඔහුට තබ්ලාවක් මිලදී ගෙන දුන්නේය.

පියසාර අධ්‍යාපනය ලැබූ ශාන්ත බර්නාඩිදෙත් විද්‍යාලයේ එවකට ඔහු ජනප්‍රිය ශිෂ්‍යයකු බවට පත්ව සිටියේ පාසල් ප්‍රසංගවල දී පිණුම් ගසා වෙස් නැටුම ඉදිරිපත් කරන නිසාම නොවේ. පාසැල් ක්‍රකිට් කණ්ඩායමේ හය හතරේ පහරවල් ගැසූ දක්ෂ ක්‍රීඩකයකු වූ නිසාය. දැනුදු ඔහුගේ ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් බව බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. 1965 වසර ඔහුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. පොදුරාජ්‍ය මණ්ඩලීය උත්සවයකට යැවීම සඳහා නර්තන ශිල්පීන් තෝරා පත් කර ගැනීමට ලු‍ම්බිණි රගහලේ දී තරගයක් පැවැත්විය. පියසාරයන් ද  ඊට සහභාගී වූ අතර ඔහුගේ දක්ෂතාව හැඳිනගත් ප්‍රවීන කලාකරුවෙකු ද ඒ අතර විය. ඒ කලාශූරී ජී. රංගනාථය. තම නිර්මාණ සඳහා සහභාගී වන ලෙස එහි දී ඔහුට ආරාධනයක් ලැබුණ අතර එය සතුටට මෙන් ම තම නිර්මාණ හැකියාව වර්ධනය කර ගැනීමට ඔහු ලැබූ ආශිර්වාදයක් ද විය.  1967 වර්ෂයේ දී කේමදාස සූරීන් සමගින් මහජන චීනයේ සංචාරය කිරීමට ඔහුට හැකි විය. තත් හා සුසිර භාණ්ඩවලින් නැගෙන ස්වර සංයෝජනයට උචිත අයුරින් බෙරයෙහි ධ්වනිය පවත්වාගෙන යාමේ අවබෝධය ඔහු ලබාගත් ඊට ඔහුගේ දායකත්වය ඉතා පුබල ලෙස ලබා දුන්නේය. පියසාරගේ හැකියාව පිළිබඳ කේමදාස බෙහෙවින් බෙහෙවින් පැහැදුණු අතර ඔහුගේ ප්‍රසාදය දිනා ගැනීමට මෙම කලාකරුවා සමත් විය. 1968 දී චිත්‍රසේන කලායතනයේ ගුරුවරයෙක් ලෙස බැදුණු පියසාර ප්‍රවීන නර්තන ශිල්පීනී වජිරා විසින් ඉදිරිපත් කරන ලද “නවරසය” නැමැති රංග නිර්මාණය සඳහා පසුබිම් වාදනය බාර කටයුතු කළේ පියසාර ශිල්පාධිපතිය. එහිදී රස නවය ඉදිරිපත් කිරීමට ඔහු වාද්‍ය භාණ්ඩ ගණනාවක් භාවිත කර ගත්තේ ඉතා සාර්ථක අයුරිනි. 1971 වසරේ දී රංගනාථ විසින් ඉදිරිපත් කළ “රන්දහර” නැමැති ප්‍රසංගයට අයත් උකුසා වන්නමේ නිර්මාණයට පියසාර ශිල්පාධිපතිගේ දායකත්වය වාදනයෙන් ලබා දුනි. රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයේ ඩිප්ලෝමා සහතිකධාරියෙක් වූ පියසාර එවකට එම විද්‍යාලයේ කථිකාචාරයවරයකු වූ විල්සන් ඔලබොඩුව නැමැති ප්‍රවීන නර්තන ශිල්පියාගේ ගුරුහරුකම් ද ලබාගත්තේය.

1979 දී පියසාර කාන්ති නමින් ශිල්පාධියාතනයක් ආරම්භ කළ අතර එදා මෙදා තුර දස දහස් ගණනක් සිසුන් බිහි කරමින් නර්තනයේ ප්‍රගමනය උදෙසා විශ්ෂට සේවාවාක් ඉටු කර ඇත. කාන්ති හා ඔහුගේ දියණිය මාධවීගේ මියුරු හඩ උපයෝගී කරගනිමින් විවිධ නිර්මාණ ප්‍රේක්ෂක හඳ බැද ගන්නා අයුරින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇති අතර වන්නම් හා ජන ගී පිළිබඳ කර ඇති පර්යේෂණාත්මක කැසට් පටය වර්තමානයේ පාසල් ගුරුවරුන් හා සිසුන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇත.

බටහිර බෙර වාදනය පිළිබඳ හසල දැනුමක් ඇති මහාචාර්ය KeyinHetchway සමග පර්යේෂණාත්මක අයුරින් ඉදිරිපත් කළ වාද්‍ය වෘන්දය කාගේත් පැසසුමට ලක්විය. දක්ෂ චෙලෝ වාදකයෙක් වූ රොහාන් ද සේරම් පියසාරගෙන් වාදන ශිල්පය ඉගෙන ගත් අයෙකි. “රෝයල් කොලේජ්” ආයතනයේ ඔහු සමගින් ඉදිරිපත් කළ වාදනය ද කාගේත් ප්‍රසංශාවට ලක් වූ අතර දේශීය නාද මාලාවන්ගේ අන්තර්ගත විචිත්‍රත්වය එහි දී ප්‍රකට කිරීමට හැකිවීම පිළිබඳ ඔහු සතුටට පත්විය. නර්තනය මෙන් ම වාදනය යන කලා මාධ්‍යය ඔස්සේ දේශීය අනන්‍යතාවය විදේශීය රටවල ප්‍රකට කළ පියසාර ශිල්පාධිපති දේශකයකු ලෙස ද ලොව ප්‍රමුඛ පෙලේ ආයතන ගණනාවක සේවය කිරීමට අවස්ථාව ලද කලාශිල්පියෙකි, වියතෙකි.

දේශීය හා විදේශීය වශයෙන් තත් කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කරන ලද විශිෂ්ට සේවාව අගයමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් 2012.12.21 දින පවත්වන ලද උපාධි ප්‍රදානෝත්සවයේදී ආචාර්ය උපාධිය ඔහු වෙත පිරිනමන ලදී.

මහාචාර්ය ආරියරත්න කලු‍ආරච්චි
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති