ඵෙතිහාසික දීඝවාපිය විහාරස්ථානයේ අභිනව චෛත්‍ය ප්‍රතිනිර්මාණ කටයුතු ඇරඹේ

බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත්කල ඵෙතිහාසික දීඝවාපිය විහාරස්ථානයේ අභිනව චෛත්‍ය ප්‍රතිනිර්මාණ කටයුතු අද 31 දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 1980 දශකයේ මෙහි වැඩ ආරම්භ කර තිබුණත් නොයෙකුත් අගහිඟතා මෙන්ම විවිධ හේතූන් මත එම වැඩ අතරමග නතර වී තිබුණ අතර එයට නවජීවයක් ලබාදීම සඳහා මෙම ප්‍රතිසංවර්ධන කටයුතු මෙදින ආරම්භ කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කීය. වසර තුනක් ඇතුළත මෙම ආගමික සත්කාරය අවසන් කරන බවද අමාත්‍යවරයා කීය. දිනවකවානු සහිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. එය වසර තුනක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි. පළමු අදියර යටතේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලබා ගනිමින් ගඩොල් දෙලක්ෂ පනස් දහසක් සහ එයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒකරාශී කරගෙන මෙය ක්‍රියාත්මක වෙන බවද මෙහි පැවති උත්සව සභාව අමතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා රුපියල් ලක්ෂ 8525ක මූල්‍ය ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතියට ලබාදෙනු ඇත.