රට ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුයි

රට ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) දින කොළඹදී පැවසීය.
සැබෑ ලෙස රට ජාතිය බේරා ගැනීම සඳහා අපනයන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන පිරිසට පමණක්, රටේ අනාගතය පිළිබදව කතා කිරීමට අයිතිය තිබෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (29) කොළඹබණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවන පරිශ්‍රයේ පැවති "බතික් ලංකා ප්‍රදර්ශනය" විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
"මෙම "බතික් ලංකා ප්‍රදර්ශනය" සංවිධානය කිරීම පිළිබඳව දයා ගමගේ ඇමතිතුමාටත්, එම අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් ප්‍රදර්ශනයට සහභාගි වූ බතික් කර්මාන්තකරුවන්ටත් මගේ ස්තුතිය පළ කරනවා. මෙම ප්‍රදර්ශනය තුලින් බතික් කර්මාන්තයට නව පණක් ලැබෙන බව සඳහන් කිරීමට කැමතියි. බතික් කර්මාන්ත ඇති කිරීමට අවශ්‍ය සහාය ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයෙන් නිරතුරුව ලැබෙනවා.
ඒ වගේම ඉදිරියේදීත් ආධාර උපකාර ලබාදෙමින් බතික් කර්මාන්තය දියුණු කිරීමට අප පියවර ගත යුතුයි. එම වැඩ කටයුත්තේදී  ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා අපනයන සංවර්ධන මණ්ඩලය හරහා තාක්ෂණය, මෝස්තර, රෙදි පිළිබඳව දැනුම හා සහාය ලබාදිය යුතුව තිබෙනවා. බතික් කර්මාන්තය අගය වැඩිකිරීමේ කර්මාන්තයක් වශයෙන් සලකා රෙදි, වර්ණ රසායන ආනයනය කළත් අගය වැඩිකර වැඩි ලාභයක් ලැබෙන පරිදි බතික් නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳ පොළට එක්කළ යුතු වෙනවා.
ඉන්දුනිසියාවේ බතික් කර්මාන්තයට අනුව 1960 දශකයේ මෙරට බතික් කර්මාන්තය ආරම්භ කළා. ඉන්දුනිසියාව,  මැලේසියාව, තායිලන්තය වැනි රටවලින් අවශ්‍ය නව තාක්ෂණය සහ අදහස් නැවතත් ලබාගෙන බතික් කර්මාන්තයේ දියුණුවක් ඇතිකළ යුතුයි. බතික් කර්මාන්තයේ සාර්ථකත්වය රැදී තිබෙන මෝස්තරය පිළිබඳව අප සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කරන්න කැමතියි. එක් එක් වෙළෙඳපොළට ගැලපෙන එක් එක් නව විලාසිතා නිෂ්පාදනය කර විදේශීය වෙළෙඳපොළට ඉදිරිපත් කළ යුතුයි.
ලෝක අඟළුම් කර්මාන්තයට අනුගත වීම නිසා මෙරට ඇගළුම් කර්මාන්තය සාර්ථක වී තිබෙනවා. වෙළඳ පොළ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ අනුව නිෂ්පාදන සිදුකිරිම තුලින් වඩා හොඳ බතික් කර්මාන්තයක් මෙරට බිහිවන බව සඳහන් කළ යුතුයි. ඒ හරහා අපනයන කර්මාන්තයක් ඇතිවී වැඩි ආදායමක් උපයා ගැනීමට හැකිවෙනවා. ඇගළුම් කර්මාන්තය තව දුරටත් දියුණු කර යුරෝපයේ උසස් වෙළඳපොළ කරා ගමන් කළ යුතුයි.  මේ සියල්ල සිහියේ තබාගෙන කටයුතු කරන ලෙස සියලූ දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.
බතික් කර්මාන්තයට අත්‍යාවශ්‍ය මෝස්තර පිළිබඳව අවධානය යොමු කර මෙම ප්‍රදර්ශන භුමිය තුලත් මෝස්තර ප්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබීම පිළිබඳව දයා ගමගේ මැතිතුමාට ස්තුතිය පළ කරනවා. කුඩා කණ්ඩායම්වලට ජවයක් වෙමින් කර්මාන්ත දියුණු කර අපනයනය කළ හැකි තත්වයකට එම කර්මාන්ත දියුණු කිරීමට ඇති අවශ්‍යතාවය නිසා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය දයා ගමගේ මැතිතුමාට ලබා දුන් බව කිව යුතුයි.  කර්මාන්තයන්හි අගය වැඩිකර දේශීය හා විදේශීය වෙළඳපොළට එම නිෂ්පාදන යොමු කිරීමේ වගකීම එතුමා සාර්ථකව ඉටුකර තිබෙනවා. එතුමා සතු ව්‍යාපාරික දැනුම නිසා ප්‍රාථමික කර්මාන්ත මෙවැනි තත්වයකට පැමිණ තිබෙන බව සඳහන් කරන්න කැමතියි. ව්‍යාපාරික දැනුමකින් තොරව මෙවැනි වැඩකටයුතු සිදුකිරීම දුෂ්කර බව කිව යුතුයි. මෙම ආයතන සමඟ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කිරීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. ඒ වගේම අනෝමා ගමගේ මැතිනිය මේ සියල්ල පිටුපසම හිදිමින් විශාල වැඩකොටසක් සිදු කරනවා. මෙම අවස්ථාවට ආරාධනා කිරීමත් එතුමිය හරහා සිදුවූ බව සඳහන් කරන්න කැමතියි.
මේ සියල්ල සමඟ රට අපනයන ආර්ථිකයක් බවට පත් කළ යුතුයි. මෙරට අපනයන කර්මාන්ත දියුණුවට පත් කර එම කර්මාන්තවල ආදායම වැඩිවීම තුලින් රටේ ආදායමත්, ඔබේ ආදායමත් වැඩි වන බව සඳහන් කරන්න කැමතියි. එම ඉලක්කය කරා අප ගමන් කරමින් සිටිනවා.
දියුණුවට පත් ලොව සෑම රටක්ම අපනයන කර්මාන්තයෙන් දියුණු වූ රටවල් බව කිව යුතුයි. 1979 වසරේ චීනයේ කළ සංචාරයේදී එරට බයිසිකල් පමණක් වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වුණා. නමුත් අද වන විට එරට මෝටර් රථ පමණක් දැක ගන්න පුළුවන්. අපනයන කර්මාන්තයක් තුලින් චීනය එවැනි දියුණුවකට පත් වුණා. ඒ වගේම අසල්වැසි ඉන්දියාවත් අපනයනය තුලින් දියුණුවට පත් වෙමින් සිටිනවා. අපනයන වෙළඳ පොළට ගමන් කරන බංගලාදේශය අප අභිබවා යමින් අපනයන ආදායම් උපයන බව සඳහන් කළ යුතුයි.  1991 – 1992 අතර කාලයේ වියට්නාම කර්මාන්ත ඇමති එවක කර්මාන්ත ඇමතිව සිටි මා හමුවීමට පැමිණියා. එලෙස පැමිණ විදේශ ආයෝජන ලබා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා සිදු වුණා. එදා එලෙස සිදු වුවත් අද අපට වියට්නාමයෙන් බොහෝ දේ ඉගෙන ගැනිමට තිබෙනවා.
අපට තිබෙන පළපුරුද්ද යොදා ගෙන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුයි.  ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය රජය මගින් ලබන වසර කිහිපය තුල ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් දේශීය ආයෝජන ශක්තිමත් කිරීමට අප පියවර ගන්නවා. අපනයන ආර්ථිකයක් තුලට ගමන් කිරීම හරහා ආර්ථික ගැටළු රැසකට පිළිතුරු ලැබෙන බව සඳහන් කළ යුතුයි.
දේශීය නිෂ්පාදන හා දේශීය ආයෝජන ශක්තිමත් කරමින් විදේශීය ආයෝජන ලබාගැනීම සඳහා අප පියවර ගත යුතුයි. රටේ අපනයනය ඉක්මවා ආනයනය ඉහල ගොස් තිබෙනවා. භාණ්ඩ ආනයනය කිරීමේදී ණය ලබා ගැනීමට හෝ එම අපනයන සීමා කිරීමට අපට සිදු වෙනවා.
මෙම ආනයන අපනයන පරතරය පියවීමට සැම විටම ණය ලබාගැනීමට නොහැකියි. රටේ නිෂ්පාදනය ඉහල නැංවීමට පියවර ගෙන අපනයනය වර්ධනය කිරීම තුලින් අතිරික්තයක්  ඇති කර ගැනීමට පියවර ගත යුතුයි. ලබන වසර 05 තුල එවැනි විශාල අපනයන ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් සකස් කර තිබෙන බව සඳහන් කරන්න කැමතියි.
අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීමේදී මහා පරිමාණ කර්මාන්ත සඳහා පමණක් සීමා නොවී කුඩා ව්‍යාපාර, සංචාරක ව්‍යාපාර, විශාල හා කුඩා හෝටල්, හෝම් ස්ටේ වැනි සියලූම අංශ අවශ්‍ය වෙනවා. එදා සංචාරකයින් මෙරටට පැමිණෙන විට කාර් හා වෑන් රථ මගින් ප්‍රවාහන කටයුතු සලසා ගත්තා. නමුත් අද ත්‍රිරෝද රථ මගින් ඔවුන් සංචාරයේ යෙදෙනවා. කවර ආකාරයක සංචාර සිදු කළත් ආර්ථිකයට අගයක් එකතු කර ගැනීම අපේ බලාපොරොත්තුවයි.
සංචාරක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළුව අනෙකුත් ක්ෂේත්‍රයන් දෙස අවධානය යොමු කර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත් කිරීමටත් නාවුක හා ගුවන් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.
අපනයන ආර්ථිකයකට ගමන් කර රට ඉදිරියට ගෙන යනවාද, නැතිනම් පහළට ඇද වැටෙනවා දැයි ඔබෙන් විමසන්න කැමතියි. බොහෝ දෙනෙක් රට ජාතික බේරා ගැනීමට යැයි පවසමින් දේශපාලනයේ යෙදෙනවා. නමුත් රට ජාතිය සැබෑ ලෙස බේරා ගැනීමට අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. ඒ පිළිබඳව කතා කළ හැකි පිරිසට පමණක් රටේ අනාගතය පිළිබඳව කතා කිරීමට අයිතියක් තිබෙන බව කිව යුතුයි.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරණාරත්න පරණවිතාන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ,  හිටපු පළාත් සභා මන්ත්‍රිනි ශාන්තිනි කෝන්ගහගේ, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් අශෝකා අලවත්තගේ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත, ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම, සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ඉන්දුනිසියානු තානාපති කාර්යාලයේ නියෝජිත ලියා කාර්තිකා සාලි මහත්මිය ඇතුළු විශාල පිරිසක්  ද සහභාගි වී සිටියහ.