ව්‍යාජ ලේඛන පෙන්වා ප්‍රංශයට යෑමට තැත්කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින් මාලදිවයින වෙත යන බව හඟවා ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු (27) කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු 31 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .
මෙම පුද්ගලයා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් එතැන් සිට ප්‍රංශය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමෙන් පසු ආගමන විගමන අංශය වෙත පැමිණෙමින් සිටි මෙම තරුණයාගේ සැකකටයුතු ඉරියව් නිරීක්ෂණය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා ඔහු විගමන කවුළුව වෙත යෑමට පෙර ඔහු නවතා ඔහු සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකට ලක් කළ අතර එහිදී ඒවායේ තිබූ වෙනස්කම් කීපයක් හඳුනා ගැනීමට එම නිලධාරීන් සමත් වූහ.
මෙම පුද්ගලයා ගුවන් ගමන් බලපත්‍රය මතු පිටින් ඔහුගේ ජායාරූපය අලවා ආගමන විගමන නිලධාරීන් නොමග යැවීම සඳහා ව්‍යාජ ලෙස සකස් කර ඇති බව එම ඒකකයේ ස්කෑන් පරීක්ෂණ මගින් හෙළිදරව් කර ගනු ලැබීය.
ඔහුගේ කලිසම් සාක්කුවක කටුනායක සිට මාලදිවයින දක්වා ගමන් කළ හැකි ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය සමඟ ව්‍යාජ ලෙස සකස් කළ මාලදිවයින දක්වා ගමන් කිරීමට යොදා ගැනීමට සූදානම් කළ ගුවන් ප්‍රවේශ පත්‍රයක් ද සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වූහ.
මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ තරුණයෙකු වෙත ප්‍රංශය ඔස්සේ ස්පාඤ්ඤය වෙත යෑම සඳහා නීත්‍යානුකූලව නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රසායනික ද්‍රව්‍ය මගින් සෝදා යළි ඒ මත මෙම තරුණයාගේ තොරතුරු මුද්‍රණය කළ ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීන්ට හැකි විය.
මෙම තරුණයා මුලින්ම මාලදිවයින වෙත යන බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශ කර පසුව ගුවන් තොටුපළ තුළ මද දුරක් ගොස් ශ්‍රී ලන්කන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ට තමන් ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යන බව පවසා අදාළ එමිරේට්ස් ගුවන් යානය වෙත පිවිසීම ඔහුගේ උත්සාහය වී තිබුණි.