ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී නව තනතුරු , "ජනපතිවරණය ගැන හදිසි විය යුතු නෑ" - ජනපති

ජනාධිපතිවරණය නාමයෝජනා කැඳවීමට තවත් මාස දෙකකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ජනාධිපතිවරණය ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. මේ අවස්ථාවේ කාර්යභාරය වන්නේ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියේදී එන අභියෝග වලට මුහුණදීම යැයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී අද (27) දහවල් පැවැත්විණි. පක්ෂයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සංශෝධනය කෙරුණු නිලධාරී මණ්ඩලය අනුමත කර ගැනීම ද එහිදී සිදුවිය. ඒ අනුව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත අලගියවන්න මහතා ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද පත් කරන්නට විධායක සභාවේ අනුමැතිය හිමිවිය. මේ අතර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහා නියෝජ්‍ය මහලේකම් ලෙස නව තනතුරක් පිහිටුවා ඇති අතර ඒ සඳහා උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත්කිරිමට විධායක සභාවේ අනුමැතිය ලැබිණි.