නවීන තාක්ෂණය යොදාගෙන ව්‍යාපෘති රැසක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට සූදානම් - අගමැති

දකුණු ආසියාවේ අලංකාර සහ හොඳම නගරය බවට කොළඹනගරය පත්කිරීම තම බලාපොරොත්තුව බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා නවීන තාක්ෂණය යොදාගෙන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට සූදානම් බව ඊයේ (22) කොළඹදී සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර අවුරුදු 50 – 60 ක කාලය තුලදී ඉටු කිරීමට නොහැකි වූ ඉතා විශාල සංවර්ධන කටයුතු රැසක් කොළඹනගරයේදී මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසදුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවයේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
එහිදී තව දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
අලංකාර කොළඹ නගරයක් දැකගන්න අපිට අද හැකියාව ලැබී තිබෙනවා. ලෝකයේ අලංකාර නගරයක් බවට කොළඹ පත්වෙමින් තිබෙනවා. සිංගප්පුරුවේ නගරයක් මෙන් කොළඹ පරිවර්තනය වෙමින් පවතිනවා.
අවුරුදු පනහක හැටක කාලසීමාවක් තුළ කිසිදු සැලැස්මක් නොමැතිව කොළඹ නගරය සංවර්ධනය වෙමින් පැවතියා. අපේ ළමා කාලයේ බේරේ වැව ඉතා අලංකාරව තිබුණා. පසුව ඒ සුන්දරත්වය නැතිවුණා. නමුත් පසුගිය වසර 04ක කාලසීමාව තුළ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හරහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් වසර පනහක හැටක කාලසීමාව තුල සිදු නොවූ වැඩකටයුතු අද යථාර්ථයක් බවට පත්වී තිබෙන බව කිව යුතුයි.
මෙම ව්‍යාපෘතිය කොළඹ නගරය අලංකාර කිරීමේ වැඩ සටහනේ එක් කොටසක් බව කිව යුතුයි. අලංකාරය මෙන්ම නව ප්‍රවාහන ක්‍රමවේදයක් මෙම බෝට්ටු සේවය හරහා රටට හිමිවෙනවා. රටවල් ගණනාවක වාර්තමානයේ මෙවැනි බෝට්ටු සේවාවන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ලන්ඩන් නුවර තේමිස් නදියේ මෙවැනි බෝට්ටු සේවාවන් දැකගැනීමට හැකියාව තිබෙනවා. පැය භාගයක් පමණ ගතවන ගමන් කාලය මෙම බෝට්ටු සේවාව හරහා විනාඩි 10 කට අඩුකරගැනීමේ හැකියාව ලැබෙනවා.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් බෝට්ටු නිර්මාණය සිදුකළ ශ්‍රී ලංකා නාවික හමුදාවට මාගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. විවිධ වර්ගයේ කුඩා බෝට්ටු නිෂ්පාදනය කිරීම ද නාවික හමුදාව අද වන විට සිදුකරනු ලබනවා. ඔවුන් නිර්මාණය කළ මෙම බෝට්ටු දෙක හරහා ප්‍රථම බෝට්ටු සේවය අද ආරම්භ කරනවා.
අද නව ගමනාගමන ක්‍රමයක් ඇතිවී තිබෙනවා. අලංකාර නගරයක් කොළඹ බිහිවී තිබෙනවා. අලංකාර නගරයක් පමණක් නොවෙයි. මේ බිහිවන්නේ නවීන නගරයක්. මෙම නගරය නවීන පහසුකම් රැසක් සමගින් ඉදිරියට ගමන් කරනවා. බෝට්ටු සේවය හැරුණු කොට සැහැල්ලූ දුම්රිය සේවයක්, කුළුණු මතින් ඉදිවන නව මාර්ග පද්ධති දෙකක් නවීන කොළඹනගරයට එක්වෙනවා. එම මාර්ග පද්ධති දෙක සැලසීමේදී එක් මාර්ගයක් වරාය දක්වාත්, අනෙක් මාර්ගය රාජගිරිය හරහා අතුරුගිරිය දක්වාත් කුළුණු මතින් ඉදිවෙනවා.
ඒ අනුව ඉදිරි වසර තුන හතර තුළ අලූත් මාර්ග පද්ධතියක් කොළඹ නගරයට එක්වෙනවා. කොළඹ දියුණුවත් සමග රාජ්‍ය අංශයේ කාර්යාල ගණනාවක් බත්තරමුල්ලට ගෙනයනු ලබනවා. වාණිජ ගොඩනැගිලි, නිවාස හා මිශ්‍ර කාර්ය සහිත ගොඩනැගිලි නගර අලංකාර කරමින් ඉදිවෙනවා. ක්‍රමවත්ව, සැලසුම්ගතව කොළඹ නගරය විශාල නගරයක් බවට පත්කරමින් ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට අපි ක්‍රියා කරනවා. එම කේන්ද්‍රස්ථානයේ කේන්ද්‍රය බවට මෙම මහ නගරය පත්වෙනවා. කොළඹ නගරය ප්‍රධාන කරගනිමින් නුවරට හා හම්බන්තොටට අධිවේගී මාර්ග 02ක් ගමන් කරනවා.
නවීන නගරයක් බිහිකිරීමේදී ඉතා අසීරුතම කාර්ය වන්නේ එයට ආරම්භය ලබා ගැනීමයි. කොළඹහැදූ බව කවුරු කොහොම පැවසුවත් කොළඹනගරය වඩාත් දියුණු තත්වයට ගොඩනැගුවේ චම්පික රණවක ඇමතිතුමා සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය බව මා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.
අඩු ආදායම්ලාභි පවුල් සඳහා මහල් නිවාස ඉදිකිරීමත්, අනෙකුත් අමාත්‍යාංශය හා සංස්ථා සමඟ එක්වී විශාල දියුණුවක් මෙම අමාත්‍යාංශය සිදුකර තිබෙන බව කිව යුතුයි.
අපි උත්සාහ දරන්නේ දකුණු ආසියාවේ අලංකාරම, හොදම නගරය බවට කොළඹ නගරය පත්කිරීමටයි. කොළඹ වරාය දකුණ වරායෙන් අවසන් වන්නේ නැහැ. වත්තල, ජාඇල දක්වා උතුරට කොළඹ වරාය පුළුල් කරමින් විශාල දියුණු නගරයක් බවට කොළඹ නගරය පත්කරනු ලබනවා.
මහ නගරයක් ගොඩ නැගීමේ දර්ශනය හා සංකල්පය අපේ ආණ්ඩුව රටට ඉදිරිපත් කළා. වෙන කිසිවෙකුටත් එවැනි සැලැස්මක් තිබුණේ නැහැ.
අද වන විට අපි එහි ප්‍රතිඵල දකිමින් සිටිනවා. කොළඹ මහ නගරය අපේ සංවර්ධන ක්‍රියාවලියේ එක් පැතිකඩක් පමණයි. අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් ආණ්ඩුව ආයෝජනය කර තිබෙනවා. අධ්‍යාපනයේ නවීකරණය වෙනුවෙන් අපි ක්‍රියාකර තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරමින් සියලූ දෙනාට සෞඛ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා.
මහාමාර්ග සංවර්ධනය වැනි වැඩ කටයුතු මෙන්ම අනෙකුත් යටිතල පහසුකම් වර්ධනය කරමින් ඉදිරි වසර පහ තුළ විශාල ආයෝජනයන් රටට ළඟාකර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. දේශීය මෙන්ම විදේශීය ආයෝජන හරහා ආනයනය ආර්ථිකයක් ඇති කිරීමට අපි ක්‍රියාකරනවා. රටේ ණය කන්ද මුළුමනින්ම ගෙවා දැමීමට අපි පියවර ගන්නවා. දියුණු රටක් ලෙස ඉදිරියට යාමේදී ණය මුදල් සඳහා හිඟමන් යැදීමට ඉදිරියටත් සිදුකළ නොහැකියි.
ණයෙන් තොර රටක් කරා යෑමටත්, රටේ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමටත් අපි ක්‍රියාකරනවා. මෙහිදී මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවා. ඒ වෙනුවෙන් චම්පික රණවක අමාත්‍යතුමාටත්, එම අමාත්‍යාංශයටත්, මෙම ව්‍යාපෘතියට දායක වූ නාවික හමුදාවටත් මාගේ ස්තුතිය පුදකර සිටිනවා.”
මෙම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන              ඒ.එච්.එම්. ෆවුසි, මුජිබර් රහුමාන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්  දේශපාලඥයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.