ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දුන් පස් දෙනකුට ලක්ෂ හයක වන්දියක් නියම වෙයි.

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරීම සම්බන්ධයෙන්  චෝදනා ලැබූ  එම පීඨයේම ඉගෙනුම ලබන පස් දෙනකුට,  වින්දිත  සිසුවියට  රුපියල් ලක්ෂ හයක  වන්දියක්  ගෙවන ලෙස  ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනි පතිරණ මහත්මිය අද (23)  නියම කළාය.

අද  එම නඩුව කැඳවු අවස්ථාවේදී දෙපාර්ශවයේම එකඟතාව මත මෙලෙස වන්දි මුදල ගෙවිමට නියම කෙරුණු අතර   නඩුවද සමථයකට පත් කෙරිණි. නවකවදය දුන් බව කියන ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවෙකු සහ සිසුවියන් සිව් දෙනෙකු ඇතුලු පස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.  එහිදී අංක 1, 2, 5 යන විත්තිකරු සහ විත්තිකාරියන් දෙදෙනා  වන්දි මුදල් ගෙවු අතර 3, 4 විත්තිකාරියන් දෙදෙනා වන්දි ගෙවීමකින් තොරව සමථවිය. වින්දිත සිසුවිය බෙලිඅත්ත ඉහල බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර  ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂි විද්‍යා පීඨයට  2018 මැයි 14වන දින ඇතුළත් වී ඇති අතර ඇය මේ වනවිට පාඨමාලාව හැරදමා නිවසට ගොස් ඇති බවද නඩුවේදි අනාවරණය විය.

උසස් තාක්ෂණ ආයතනයට ඇතුළත් වූ පසු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් සොයා දෙන ලද නවාතැනක නතරවූ බවත් එම දෙමහල් නිවසේ කාමරයක තවත් හයදෙනෙකු සමග  සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් වරින් වර පැමිණ නවක වදයදුන් බවත් ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.  මේ අතර මැයි 30වන දින ආපන ශාලාව ඉදිරිපිටදි ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමා දණ ගස්සවා කුණු හරුප කියමින් ඔවුන්ට දොහොත්  මුදුන්දි වැඳගෙන සිටින ලෙස තර්ජනය කළ බවත් ඇයගේ පැමිණිල්ලේ සඳහන්වේ. මෙම ඇය විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ අතර ජූනි මස 4වන දින පීඨාධිපතිවරයාද පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නවක වදය පිළිබඳ පරීක්ෂා කරන ලෙසට දන්වා තිබේ. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ අක්මීමණ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම සැකකාර සිසුවා සහ සිසුවියන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අයුතු ජන රාශියක සාමාජිකයින්වීම, වාචිකව ලිංගික අතවර සිදු කිරීම, සාපරාධි බලහත්කාරය පෑම, බැන තර්ජනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑමට අනුබල දීම යන චෝදනා යටතේ   අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිට පසුව  රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක්  සහ රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.