වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට ප්‍රධාන ‌පෙළේ සමාගම් වලින් ඉල්ලිම් තියෙනවා - ඇමති අකිල

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර ප්‍රධාන පෙළේ විවිධ සමාගම්වලින් රැකියා ලබාදීමට දැනට ම ඉල්ලීම් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ ජාතික හා පළාත් පාසල්වල දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීන් 226 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (21) පැවති උත්සවය අමතමිනි.
13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් දැන් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) සමත් වූවත් - අසමත් වූවත් උසස් පෙළ පන්තියට ඇතුළත් වී ක්ෂේත්‍ර හතකින් ව්‍යවහාරික විෂයයන් 26ක් හැදෑරීමට සිසුනට අවස්ථාව උදා වී ඇතැයි ද අමාත්‍යවරයා  පැවසීය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක රැකියා සදහා වෘත්තීය විෂයයන් හැදැරූවන්ට දැඩි ඉල්ලුමක් පවතින නිසා සාමාන්‍ය පෙළ අසමත් සිසුන් පමණක් නොව සමත් සිසුන්  පවා එම වෘත්තීය විෂයයන් හැදැරීමට ඉදිරිපත්වී සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ නුපුහුණු ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් රැකියා සදහා මැදපෙරදිග රටවල් වෙත ගමන් කරන නමුත් මෙම විෂයය හැදෑරීමෙන් පසු ඉදිරි කාලයේ රැකියා සඳහා මැද පෙරදිග නොව‍ ලෝකයේ දියුණු රටවලට ගොස් ඩොලර්, යුරෝ ආදී විශාල  ධනයක් උපයා ගැනීමේ අවස්ථා හිමිවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.