ආණ්ඩුවට ස්ථාවර බලයක් හෝ ජනාධිපති බලතල නොමැතිව විවිධ අභියෝග මධ්‍යයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට හැකිවුණා - අගමැති රනිල්

ආණ්ඩුවට ස්ථාවර බලයක් හෝ ජනාධිපති බලතල නොමැතිව විවිධ අභියෝග මධ්‍යයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් පසුගිය කාලය තුළ ක්‍රියාවට නැංවීමට තමන්ට හැකි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒ සියලුබලතල හා ස්ථාවර භාවයක් ඇති කරගෙන සංවර්ධනය තවත් වේගවත් කරමින් රටේ දියුණුව දස ගුණයකින් වැඩිකරන බව පැවසීය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පසුගිය වසර තුළ මාවතගම මැතිවරණ කොට්ඨාශයෝ සංවර්ධන ව්‍යාපෘති දහසක වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ 18 මාවතගම සාමෝදය ක්‍රීඩාංගනයේ පැවැති ජනහමුවක් අමතමිනි.
අද පෙරවරුවේ බෝයගොඩ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිරීක්ෂණයට ලක් කළේය.
අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරගහදෙණිය ජාතික පාසලේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, මාවතගම මහලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරය සහිත සිවු මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, ඇතුගල්පුර කුමාර විද්‍යාලයේ සිවු මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම, ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, සුන්දරාපොල කසල කළමනාකරණ ව්‍යාපෘතිය විවෘත කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම සිදු විය.
සාමෝදය ක්‍රීඩාංගනයේ පැවැති ජනහමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
අද (18) දින මාවතගම ප්‍රදේශයේ ඉදිකළ නව ගොඩනැගිලි 07ක් විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. මෙම ප්‍රදේශයේ පිහිටා තිබෙන මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ ගොඩනැගිල්ලක් මීට වසර 31කට පෙර විවෘත කිරීමට මට හැකියාව ලැබුණා. අද දින මේ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලි 06ක් හා ප්‍රාදේශීය ලේකම් කාර්යල ගොඩනැගිල්ලක් ජනතා අයිතියට පත් කළා.  ජේ. සී. අලවතුවල මැතිතුමන්ගේ පියානන් වූ දිවංගත එස්. ඩබ්ලිව්. අලවතුවල මැතිතුමා ව්‍යාපෘති 100ක් විවෘත කරන බව එවක සඳහන් කළා. එවක එජාප රජයේ මන්ත්‍රීවරුන් 140 දෙනෙකු සිටි නිසා ඉන් 100 දෙනෙකු විවෘත කිරීම් සඳහා තෝරා ගනු ලැබුවා. වර්තමානයේ ජේ. සී. අලවතුවල මැතිතුමා ව්‍යාපෘති 1000ක වැඩකටයුතු අවසන් කර තිබෙනවා. නමුත් එම ව්‍යාපෘති 1000ක ප්‍රමාණය විවෘත කිරීමට මන්ත්‍රීවරුන් දහසක් සොයා ගන්නේ කෙසේදැයි එතුමාට ගැටලූවක් වී තිබෙනවා.
පසුගිය වසර කිහිපය තුල සිදුවූ සංවර්ධන වේගය ඒ තුලින්ම අපට සිතාගන්න පුළුවන්. මෙම වේගවත් සංවර්ධනය කුලියාපිටියට, මාවතගමට පමණක් සීමා නොවී රටේ අනෙක් ප්‍රදේශවලටත් ලබා දී තිබෙනවා. පසුගිය වසර 03ක කාලය තුල ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය ව්‍යාපෘති හඳුනාගෙන විශාල සංවර්ධනයක් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කිරීමට අපට හැකිවුණා.
බොහෝ අභියෝග  මධ්‍යයේ මෙවැනි සීඝ්‍ර සංවර්ධනයක් ඇතිකිරීමට හැකිවීම පිළිබඳව මම නිහතමානිව සතුටු වෙනවා. වෙනත් පක්ෂයක ජනාධිපතිවරයෙකු හා සුළුතර ආණ්ඩුවක් සමඟ 2015 අගෝස්තු මස මෙම ආණ්ඩුව මම භාරගත්තා. මීට පෙර පැවති රජයන් බහුතරය තිබියදීත් රට මුහුණ දීමට තිබූ ආර්ථික අර්බූදයට බියවී වසර 02කට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කළා. 2015 අගෝස්තු මස රට ඉදිරියට ගෙන යාමට ජනතාව විසින් වරමක් ලබාදී තිබෙන නිසා එම කටයුතු අතරමග අත් නොහැර, බහුතරයක් නොමැති වුවත් කෙසේ හෝ ඉදිරියට ගෙන යාමට  අප තීරණය කළා.
බහුතර ආණ්ඩුවකට සිදු කළ නොහැකි වූ සීඝ්‍ර සංවර්ධනය පසුගිය වසර කිහිපය තුල අප විසින් සිදුකර තිබෙන බව පෙන්වා දිය හැකියි. 2015 වසරේ ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේ ණය ගෙවීමට නොහැකි තත්වයකට රටේ ආර්ථිකය පත්ව තිබුණා. රටට ණය ලබා දීමට ජාත්‍යන්තරය තුල විශ්වාසයක් තිබුණේ නැහැ. රටේ ආදායම ඉක්මවා වියදම ඉහල ගොස් තිබුණා. රට  ස්ථාවර කිරීමට පළමු වසර දෙක තුල අපි දැඩි තීරණ ගත් නිසා ජනතාව අපට දෝෂාරෝපන එල්ල  කිරීමට පෙළඹුණා. එම තීරණ නිසා වර්තමානය වන විට රට ස්ථාවරභාවයට පත්වී තිබෙනවා.  රටේ ආදායම වැඩිවී ප්‍රාථමික ගිණුමේ ශේෂය අතරික්තයක් වී තිබෙනවා. එම ස්ථාවරය නිසා ජාත්‍යන්තරය තුල විශ්වාසයක් ඇතිකර පැරණි ණය ගෙවා දැමීම සඳහා අලූතින් ණය ලබාගැනීමට හැකියාව ලැබුණා.
ණය ගෙවීමට පමණක් සීමා නොවි රටේ සංවර්ධනය වෙනුවෙනුත් අවශ්‍ය වෙන මුදල් ලබාදීමට අප පියවර ගත්තා. ආර්ථික ස්ථාවරභාවය ඇතිවී තිබෙන නිසා රටේ ජනතාවගේ ආදායම 50% සිට 100% දක්වා ප්‍රමාණයකින් වැඩිවී තිබෙන බව සඳහන් කළ යුතුයි. රජයේ සේවකයින්ගේ වේතන 100% කිනුත් රාජ්‍ය සේවයේ ඇතැම් සේවකයන්ගේ වැටුප් ඊටත් වඩා වැඩිවී තිබෙනවා.  
කඩා වැටුණු ආර්ථිකයක් හිමිවුවත් ආදායම ඉහල නැංවීමට අප පියවර ගත්තා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාර මුදල් වැඩිකර අලූතින් සමෘද්ධි සහනාධාර ලැබෙන පිරිස ලක්ෂ 03කින් ඉහල දැමීමට අප කටයුතු කළා. කඩා වැටෙමින් තිබූ රටේ ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට අප පියවර ගත්තා.
යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට, පාසල් අධ්‍යාපනය දියුණු කිරීම, නව ගොඩනැගිලි ඉදිකිරීම, නිවාස ඉදිකිරීම ඇතුළු විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් රට තුල සිදුවෙනවා. පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනැගිලි පමණක් ඉදිකර පළක් නොවන නිසා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට අප පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵල මේ ප්‍රදේශයේ තිබෙන පරගහදෙණිය පාසල තුලින්ම දැකගන්න පුළුවන්. පරගහදෙණිය විදුහලේ මීට පෙර විද්‍යා හා ගණිත අංශයෙන් විශ්වවිද්‍යාලවලට දරුවන් සුදුසුකම් ලබා තිබුණේ නැහැ. නමුත් මෙවර වෛද්‍ය පීඨයට සිසුන් තුන් දෙනෙකු හා ඉංජිනේරු පීඨයට එක් සිසුවෙකු සුදුසුකම් ලබා තිබෙනවා. රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට මෙය උදාහරණ සපයනවා.
උසස් අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් අවශ්‍ය නව ගොඩනැගිලි ලබාදී තිබෙනවා. ඉදිරියේදි විවෘත කිරීමට නියමිත කුලියාපිටිය නව වෛද්‍ය පීඨය සමග තවත් වෛද්‍ය කිහිපයක් අලූතින් ඉදිකර තිබෙනවා. ඒවගේම නව ඉංජිනේරු පීඨ හා අළුතින් විශ්වවිද්‍යාල ඉදිකිරීමට පියවර ගන්නා බව සඳහන් කරන්න කැමතියි.  වෘත්තීය පුහුණුව සඳහා වැඩි පිරිසකට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙවැනි විශාල වැඩකොටසක් සිදුකිරීමට පසුගිය වසර 04 තුල ලබාගත් මුදල් පමණක් යොදා ගත් බව සඳහන් කළ යුතුයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සිදුවී තිබෙන දියුණුව පිලිබඳව බොහෝ දෙනා පුදුමයට පත් වෙනවා. දැනට තිබෙන රෝහල් නවීකරණය කරමින් නව රෝහල් ඉදිකරනවා. ස්ට්‍රේන්ට් නොමිලේ ලබාදීම ඔඣීෂධ මිල ගණන් පහල දැමීම, දුෂ්කර ප්‍රදේශවල  සේවය කරන වෛද්‍යවරුන් ඇතුළුව  අනෙකුත් වෛද්‍යවරුන්ට පහසුකම් ලබාදීම සිදුකර තිබෙනවා. යාපනය ප්‍රදේශයේ දූපත්වල තිබෙන රෝහල්වලට පවා අපගේ සංවර්ධනය ගෙන ගොස් තිබෙනවා. රටේ එක් ප්‍රදේශයකට පමණක් සීමා නොවී සියලුම ප්‍රදේශවලට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම කටයුතු සිදුකරන බව විශේෂයෙන් මතක් කළ යුතුයි.
නිවසක හිමිකම නොමැති ජනතාවට නිවාස අයිතිය ලබාදීම වෙනුවන් අමාත්‍යාංශ 04ක් මගින් නිවාස ඉදිකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ග්‍රාමීය ජනතාවගේ නිවාස අයිතිය ලබාදීමට උදාගම් වැඩසටහනත්, නාගරික ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමට නාගරික තට්ටු නිවාස වැඩසටහනත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පළමු වතාවට වතුකරයේ ජනතාවට නිවසක අයිතිය හිමිවෙන වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. යුද්ධයෙන් විනාශ වූ උතුරේ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකර දීම සිදුවන බවත් සඳහන් කළ යුතුයි.
බෞද්ධාගම ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙහෙර විහාර සඳහා ආධාර  ලබාදීමත් භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමත් සිදුකර තිබෙනවා. අනෙකුත් ආගම් වෙනුවෙන් පල්ලි හා කෝව්ල් සඳහා අවශ්‍ය ආධාර ලබාදෙන බවත් මෙහිදී සඳහන් කිරීමට කැමතියි. මෙවැනි වැඩපිළිවෙලක් මීට පෙර කිසිදු ආණ්ඩුවක් සිදුකර නැහැ.
කොළඹනුවර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසුව නුවර සිට හම්බන්තොට දක්වා පැය 03 – 04ක් පමණ ප්‍රමාණයකින් ගමන් කිරීමට හැකිවෙනවා. එවැනි මාර්ග පද්ධති ඇතිකිරීමට අප පියවර ගෙන තිබෙනවා. විශාල වෙළඳ කලාපයක් බිංගිරිය ප්‍රදේශයේ ඇතිකිරීමට කටයුතු කර තිබෙනවා. අනාගතයේදී බිංගිරියටත් වඩා විශාල වෙළඳ කලාපයක් හම්බන්තොට ප්‍රදේශයේ ඇති කරන බව සඳහන් කළයුතුයි. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවීමට අපට එදා සිදුවූවත් අද එම ණය ගෙවීමට අවශ්‍ය නැහැ.
අද වන විට සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ඇතිකර තිබෙනවා. මත්තල ගුවන්තොටුපල වගේම පලාලි ගුවන්තොටුපලත් සංවර්ධනය කිරීමෙන් අනතුරුව ගුවන් සේවා ලබාගැනීමට ඉන්දීය රජය සූදානමින් සිටින බව  කිව යුතුයි. රටේ ස්ථාවරභාවයක් ඇතිවී තිබෙන නිසා ආයෝජකයින්ගේ පැමිණීමේ වර්ධනයක් ඇතිවී තිබෙනවා. එවැනි ආයෝජනයක් වූ වාහන එක්ලස් කිරීමේ නව කර්මාන්ත ශාලාවක් පසුගිය 17 වෙනිදා මතුගම ප්‍රදේශයේදී විවෘත කිරීමට අවස්ථාව ලැබුණා.
නියඟය,ගංවතුර වැනි ස්වභාවික ව්‍යසනවලට මුහුණ දීමට අපට සිදුවුණා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමඟ බොහෝ දෙනා ආර්ථිකය කඩා වැටේ යැයි ප්‍රකාශ සිදු කළා. නමුත් ආර්ථිකය කඩා වැටීමට මම කිසි ලෙසකින්වත් ඉඩ තැබුවේ නැහැ.
පාස්කු ප්‍රහාරය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩු වුවත් මේ වන විට එය යථා තත්වයට පත්වෙමින් පවතිනවා. මැයි හා ජුනි මාසයේ ජනතාව අතර මුදල් සංසරණයේ අඩුවක් තිබුණත් ඉදිරි කාලයේ එය සාමාන්‍ය අතට පත්වෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරන සංචාරක ව්‍යාපාරය ඉතා කෙටි කලක් තුල යථා තත්වයට පත්කිරීමට අප පියවර ගත්තා.  සංචාරක ව්‍යාපාරය තුලින් ලබන ආදායමින් විශාල පිරිසක් ජීවත් වෙනවා. ඒ නිසා ඉලක්කයක් ඇතිව අප කටයුතු කළ යුතුයි.
ආර්ථිකය ස්ථාවර කර මූලික වැඩකටයුතු අවසන් කර තිබෙන නිසා අනාගතයට විශාල පිම්මක් ගෙන රට දියුණු කිරීමට අප සියලූ දෙනාම එක්ව කටයුතු කළ යුතුයි. රට තුල යටිතල පහසුකම් ඇතිකර තිබෙන නිසා නව ආයෝජකයින් පැමිණීම ආරම්භ වී තිබෙනවා. ලබන වසර 05 තුල වැවිලි, කාර්මික ආර්ථිකයක සිට නවීන අපනයන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.  
බහුතර බලයක් නොමැතිව විශාල සංවර්ධනයක් රට තුල ඇති කිරීමට අපට හැකි වුණා. සියලූම තනතුරු සහිත බහුතර බලයක් ලබාගෙන ස්ථාවර භාවයක් ඇතිවූ විට දැනට පවතින සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් ඇති කිරීමට අප සූදානම් බව සඳහන් කරන්න කැමතියි. ඒ පිළිබඳව කිසිදු සැකයක් තබාගන්න එපා. පක්ෂයේ නොවන ජනාධිපතිවරයෙකු සමඟ බහුතරයක් නොමැතිව මෙවැනි සංවර්ධනයක් ඇතිකිරීමට හැකිවූවා නම් බහුතර බලයක් සමඟ ස්ථාවරභාවයක් ලැබුණහොත් දස ගුණයක සංවර්ධනයක් රට තුල ඇතිකිරීමට අපට හැකියාව තිබෙනවා.
රටේ අභ්‍යන්තර වැඩකටයුතු රැසක් දක්ෂ ලෙස සිදුකිරීමට ජේ. සී. අලවතුවල මැතිතුමාට හැකි වී තිබෙනවා. පාර්ලිමේන්තුව තුලත්, කන්ඩායම් හමුවලත් එතුමාගේ දක්ෂතාව පෙන්වා තිබෙනවා.  කුරුණෑගල දිස්ත්‍රික්කයට එතුමා සිදුකර තිබෙන සේවය මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ජේ.සී. අලවතුවල මැතිතුමා මාවතගම ආසනය භාරගෙන ප්‍රදේශයට ඇතිකර තිබෙන දියුණුවත් අමාත්‍යාංශය තුලින් සිදුකරන වැඩපිළිවෙල පිළිබදවත් එතුමාට මාගේ ස්තුතිය පළ කරනවා.
මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, තුෂාර ඉදුනිල් යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීව සිටියහ.