සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය තුළින් ජනතා සුභ සිද්ධිය තහවුරු කිරීමට අපි දැඩි ප්‍රයත්නයක් ගන්නවා - අගමැති

ඊයේ දිනයේ මා සෞඛ්‍ය අමාත්‍යවරයා හා එක්ව වවුනියාව රෝහලේ නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කරන්නටත්, හෘද රෝග මධ්‍යස්ථානයක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබීමටත් කටයුතු කළා. එම හෘද රෝග මධ්‍යස්ථානය උතුරු පළාතේ දෙවැනි හෘද රෝග ප්‍රතිකාර ඒකකය බවට පත් වෙනවා. එවැනි හෘද රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන වවුනියාව, අනුරාධපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඉදිකිරීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍යතුමා මේ වන විට යාපනය ආශ්‍රිත දූපත්වල ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය සේවාවන් නිරීක්‍ෂණය කිරීමට පිටත්ව ගොස් තිබෙනවා. හෙට දිනයේ පේදුරුතුඩුව, කිලිනොච්චිය සහ මාන්කුලම් ප්‍රදේශවල රෝහල්හී සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීම සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය තුළින් ජනතා සුභ සිද්ධිය තහවුරු කිරීමට අපි දැඩි ප්‍රයත්නයක් ගන්නවා. කිලිනොච්චිය සහ යාපනය රෝහල්වල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවන්ට මම මීට පෙර සහභාගී වුණා. ඒ සියල්ලට අමතරවයි 2017 දී ලැබුණු අනුමැතිය අනුව චාවකච්චේරියෙහි ඉදිවුණු මෙම නව ගොඩනැගිල්ල අද ජනතා අයිතියට පත් වන්නේ.
උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව යථාතත්වයට පත් කිරීමටයි අප උත්සාහ ගනිමින් සිටින්නේ. බ්‍රිතාන්‍යයන් විසින් රටේ පාලනය අයිති කර ගන්නා විට හොඳම වෛද්‍ය සේවය ක්‍රියාත්මක වුණේ බස්නාහිර සහ උතුරු පළාත්වල. විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේයි. එනමුත් තිස් අවුරුදු යුද්ධය ඒ සියල්ලක්ම අඩාල කළා. එසේ තිබියදීත් තම සේවය නොපිළිහෙළා ඉටු කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත මාගේ ප්‍රණාමය පුදකරනවා. යාපනයේ සිට පැමිණ බස්නාහිර පළාතේ, මහනුවර වගේම ගාල්ල ප්‍රදේශවල සේවය කරන වෛද්‍යවරු බොහෝ දෙනෙක් සිටිනවා. යාපනයේ එදා පැවැති ඉතා උසස් මට්ටමේ වෛද්‍ය පහසුකම් නැවත ඇති කිරීම අපේ අරමුණයි. මේ ප්‍රදේශය ජනතාවට ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාවක් පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමට ආණ්ඩුව වශයෙන් අපි ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා. ඒ වගේම මේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් වෙනුවෙන් ද පවතින පහසුකම් වැඩි දියුණු කොට ඔවුන්ට තෘප්තිමත්  වැඩ පරිසරයක රාජකාරී ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා.
පසුගිය වසර කිහිපය තුළ යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරුණු සෞඛ්‍ය සේවාවන්වල යම් ප්‍රගතියක් දකින්නට ලැබුණා. යාපනය අර්ධද්වීපය වගේම උතුරු පළාතේත් එය දකින්නට තිබුණා. එනමුත් තවත් බොහෝ දේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී මෙම ක්ෂේත්‍රයේ සේවක පිරිසෙහි පවතින පුරප්පාඩු පියවීම ඒ අතර අත්‍යාවශ්‍ය අංගයක්. කෙසේ වෙතත් දැනට මෙහි සේවය කරන ඔබ සැමගේ කැපවීම නොමැතිව අපිට එම කාර්යය සිදුකිරීම අපහසුයි.
තිස් වසරක දරුණු යුද්ධය නිසාම ඇතිවුණු බරපතල ගැටළු බොහෝමයකට මේ ප්‍රදේශයේ වැසියන් මුහුණ දෙන බව පෙනී යනවා. රටේ අනෙකුත් පළාත්වල ජනතාව අත්නොදකින අර්බුදවලින් මේ ප්‍රදේශ වාසීන් පීඩාවට පත්ව සිටිනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් කොළඹඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවුණු තත්වයන් හා සමානව තිස් අවුරුදු යුද්ධය යාපනය හා උතුරු පළාතට සුවිශේෂ වූ ගැටළු නිර්මාණය කිරීමට හේතු වුණා. මිනිස් ජීවිත අහිමිවීම්, ශාරීරික ආබාධ හා තුවාල ලැබූවන්ට අමතරව මානසික ව්‍යාධීන්ට ලක්වූ ජනතාවත් සැළකිය යුතු පිරිසක් සිටිනවා. ඒ වගේම එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වූවන් ද දක්වන්න පුළුවන්.
යාපනයේ අද වනවිට පවත්නා උග්‍ර අර්බුදයක් බවට මත් උවදුර පත්ව තිබෙනවා. කොළඹ නගරයත් මේ උවදුර නිසා යාපනය තරම්ම අර්බුදකාරී තත්වයට පත්ව තිබෙනවා. මා කොළඹමැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන නිසා එහි ඇති බරපතලකම මා දන්නවා. මේවා අපට ජයගැනීමට තිබෙන අභියෝගයි. කොහොම නමුත් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද පූර්ණ සහාය ඇතිව, මීට ඉහත උතුරු පළාතේ හා යාපනයේ පැවැති සෞඛ්‍ය පහසුකම් හා නොදැවෙනි වන ඉතා උසස් වෛද්‍ය සේවයක් මේ ප්‍රදේශයේ ජනතාව වෙත නැවතත් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.
මා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන යුගයේදී අපේ රටට තිබුණේ වෛද්‍ය විද්‍යාපීඨ දෙකක් පමණයි. එකක් පේරාදෙණියේ, අනෙක කොළඹ. යාපනයේ සිට කොළඹට පැමිණ අධ්‍යාපනය ලැබූ මිතුරන් බොහෝ දෙනෙක් මට සිටියා. අනුරාධපුර වගේ ප්‍රදේශවල සිට පවා ජනතාව වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට යාපනයට පැමිණියා. මොකද යාපනයේ වෛද්‍ය සේවය ඉතා උසස් මට්ටමක එදා පැවතුණා. එසේනම් යාපනයේ එදා පැවැති සෞඛ්‍ය පහසුකම් ආශ්‍රිත ප්‍රමිතිය නැවත ළඟාකර ගැනීමට අපි කටයුතු කරනවා. එවිට සමස්ත කලාපයටම සෞඛ්‍ය පහසුකම් ක්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානය යාපනය බවට පත්වෙනවා.
සෞඛ්‍ය සේවාවන් වගේම අධ්‍යාපනය ඇතුළු පූර්ණ සංවර්ධන වැඩපිළිවෙළක් මේ ප්‍රදේශයේ අපි ක්‍රියාත්මක කරනවා. එදා හොඳම අධ්‍යාපන ක්‍රමවේදය පැවැතුණේත් කොළඹහා යාපනය කේන්ද්‍ර        කරගෙනය. එවකට මාගේ පාසලට තරගයක් එල්ල කළේ හාට්ලි විද්‍යාලයයි. කොහොමත් හාට්ලි විද්‍යාලය ගණිත අංශයෙන් ඉදිරියෙන් සිටියා. අනෙකුත් අංශත් ඒ වගේම ඉදිරියෙන් සිටියා.
යාපනයේ එදා පැවැති සෞඛ්‍ය හා අධ්‍යාපන විශිෂ්ඨත්වයන් යළි උදාකර ගැනීම අත්‍යාවශ්‍ය වන අතර අපි ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරනවා. යාපනයෙන් රටට උරුම වන දායාදයන් විනාශ කොට නොගෙන ඒවා රැක ගෙන ඔප්නැංවීම අප සතු යුතුකමක් ලෙස සලකනවා.
අසීරු කාලවලදී පවා මෙම ප්‍රදේශවල අඛණ්ඩව සේය කළ ඔබ සැමදෙනාගේ කැපවීම මා ඉතා අගය කොට සලකන අතර අප සැම යළිත් එක්වී යාපනය ප්‍රදේශයට හිමිවිය යුතු නියම තැන යළි ලබාදීමට ඇප කැප වෙමු යන ඉල්ලීම කරමින් මා සමුගන්නවා.  
චාවකච්චේරිය, මූලික රෝහලේදී 2019.08.15 වන දින පැවැති මානසික සුව සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම  අදහස් ප්‍රකාශ කළේය.