දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ - කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. උතුරු, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත්වල, විශේෂයෙන් නැගෙනහිර පළාතේ සහ බදුල්ල දිස්ත්‍රික්කකයේ තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.