තරුණ පරපුර සමඟ නෛතික සමාජ ගිවිසුමක් අත්සන් කර තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටුකරන යුගයක් ඇතිකරනවා - සජිත්

දශක ගණනාවක් මුළුල්ලේ තරුණ පරපුර මුලාවට පත් කළ යුගයට තිත තබා, තරුණ පරපුර සමඟ නෛතික සමාජ ගිවිසුමක් අත්සන් කර තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටුකරන යුගයක් තමන් ඉදිරියේදී ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තරුණ පරපුරේ අවශ්‍යතාවන් ඉටුකිරීම සඳහා ජාතික තරුණ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.   
මුළු රටම නියෝජනය වන පරිදි තරුණ පරපුර ඒකරාශී කරමින් මෙම සමාජ ගිවිසුම ක්‍රියාත්මක කර තරුණ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කරන බවත්, අනතුරුව එය පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කරගෙන සමාජ යාථාර්ථයක් බවට පත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මැතිවරණ සමයේදී තරුණ පරපුර දේශපාලන පොරොන්දුවලට යටපත් කර අනාථ කිරීම විශාල පාප කර්මයක් බවත්, ඔවුන්ගේ අනාගතය ශක්තිමත් වන තාරුණ්‍යය කේන්ද්‍ර කර ගත් රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙලක් තමන් ඉදිරියේදී ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාමය, රන්දුනුවත්ත ප්‍රදේශයේ ඉදිකළ “සරුතුරුලියගම”, “සොබානිල්ලගම” සහ “සාරහරිතගම” උදා ගම්මාන 3  ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (15) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 249, 250, 251 වන ආදර්ශ ගම්මාන වේ.
“සරුතුරුලියගම”, “සොබානිල්ලගම” සහ “සාරහරිතගම” උදා ගම්මාන 3 හි ඉදිකර ඇති  නිවාස සංඛ්‍යාව 71 කි. මේ සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 636 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.  
 
නිවාසලාභීන් 71 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය සහ රුපියල් ලක්ෂ 532 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 71 ක හිමිකම නොමිලේ ලබා දීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 75 කට රුපියල් ලක්ෂ 150 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 30 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 150 ක් වටිනා ‘සෙවණ නිවාස ආධාර’, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 53 ක් සඳහා රුපියල් ලක්ෂ 26 ක් වටිනා ප්‍රතිලාභ, ‘සංචාරක පොඩ්ඩා’ ණය වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 28 දෙනෙකුට රුපියල් ලක්ෂ 140 ක් වටිනා බදු රහිත ණය ප්‍රදානය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 35 දෙනෙක් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විණී. 
 
මීට අමතරව දෙබරවැව ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායම සඳහා රුපියල් ලක්ෂයක් වටිනා නිල ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.