අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජය ප්‍රමුඛත්වය ලබාදුන්නා - අගමැති

වව්නියාව සහ වන්නි ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය ආරම්භ කළ කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා විශේෂ පියවර රැසක් නුදුරේදී ගැනීමට අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (14) දින වව්නියාව මහා රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම හා නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීම වෙනුවෙන් පැවැත්වුණු උත්සව සභාව අමතමිනි.
අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජය ප්‍රමුඛත්වය ලබාදුන් බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එය වත්මන් පරම්පරාව වෙනුවෙන් සිදු කළ ආයෝජනයක් බව ද පෙන්වා දුන්නේය.
රජරට සහ වන්නි ප්‍රදේශයන්ට ප්‍රතිලාභ සැලසෙන මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ වැඩකටයුතුවලට ලබන සතියේ මුලපිරෙන බව ද අගමැතිවරයා මෙහිදී හෙළි කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
වව්නියාව රෝහලේ අලූතින් ඉදිකරන ලද හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම හා වකුගඩු නිවාරණ ඒකකයට මුල්ගල තැබීම අද (14) අප සිදු කළා. මෙම රෝහල රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථානයක්ම පමණක් නොව දේශපාලඥයන් බිහිකරන තැනක් ලෙසද හැදින්විය හැකියි.
මෙම රැස්වීමට සහභාගීව සිටින සත්‍යමූර්ති මැතිතුමාත්, සිවමෝහන් මැතිතුමාත් එදා වෛද්‍යවරු ලෙස මේ රෝහලේ කටයුතු කර දේශපාලනයට පිවිසී තිබෙනවා. මේ ප්‍රදේශයේ කවුරුන් හෝ අනාගතයේ දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙනවා නම් වෛද්‍යවරයෙකු ලෙස වව්නියාව රෝහලට පැමිණෙන ලෙස මා ඉල්ලා සිටිනවා.
වව්නියාව රෝහල දියුණු කිරීම සදහා මුදල් ප්‍රතිපාදන ලබාදුන් නෙදර්ලන්ත ආණ්ඩුවට මා ස්තඣතිය පුදකර සිටිනවා. නෙදර්ලන්තය ලබාදුන් මුදල් වැයකොට නවීන රෝහලක් බවට වව්නියා රෝහල පත්කිරීමට හැකිවී තිබෙනවා. මෙම කටයුත්ත වෙනුවෙන් කැපවී ක්‍රියාකළ සත්‍යමූර්ති මැතිතුමා ද සිහිපත් කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.
එමෙන්ම වන්නි ප්‍රදේශය දියුණු කිරීමට පෙරමුණ ගත් මන්ත්‍රිවරයෙක් ලෙස සිවමෝහන් වෛද්‍යාචාර්යතුමා හැදින්විය හැකියි. එතුමා මේ ප්‍රදේශයේ තිබෙන අඩුපාඩුකම් ගැන පාර්ලිමේන්තුවේදී නිරතුරුවම හඬනගනවා. එමෙන්ම මේ ප්‍රදේශයේ ඇමතිවරයා ලෙස රිෂාඩ් බදුර්දීන් මැතිතුමා සිදුකරන සේවය අප අගය කළ යුතුයි.
වව්නියාව මෙන්ම මන්නාරම රෝහල ද නවීකරණය කළ යුතුව තිබෙනවා. එම කටයුත්තද කෙසේ හෝ සිදුකිරීමට මා පියවර ගන්නවා. ඒ අනුව ඉදිරියේදී මුළු වන්නියේම අලූත් රෝහල් පද්ධතියක් ඇති වෙනවා.
මෙලෙස රෝහල් දියුණු කිරීමේ වැඩකටයුතු සාර්ථකව සිදුකිරීමට හැකි වූයේ රාජිත සේනාරත්න ඇමතිතුමා ගත් පියවර නිසයි. එතුමා යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. ඉතිහාසයේ කිසිදාක මෙවැනි දියුණුවක් ඇති වුණේ නැහැ. මින් මතුවටද එතුමා පසුකර යෑමට කිසිඳු ඇමතිවරයෙකුට හැකිවන්නේ නැහැ. කවුරුත් අපේක්‍ෂා නොකළ සේවාවක් එතුමා යටතේ සෞඛ්‍යට සිදුවුණා.
යාපනේ, කිලිනොච්චි, පේදුරුතුඩුව, මාන්කුලම් ප්‍රමුඛ උතුරේ රෝහල් පමණක් නොව රටපුරා සියලූ රෝහල්වල නවීකරණයත් අද ඇති වී තිබෙනවා. මේ නවීකරණය නිසා ජනතාවට තම ප්‍රදේශයේ සිටම අවශ්‍ය සේවාවන් ලබාගත හැකියි.
රටේ රෝහල් නවීකරණය කර පහසුකම් ඇතිකිරීමට පමණක් නොව ඖෂධ මිල අඩුකර, හෘද රෝගීන් සදහා ස්ටෙන්ට් නොමිලේ ලබාදීම, අක්‍ෂි කාච නොමිලේ ලබාදීම, පිළිකා රෝගීන් සදහා රුපියල් ලක්‍ෂ 15 ක් දක්වා සීමාකර තිබු ප්‍රතිකාර ජීවිතාන්තය දක්වා ලබාදීමට පියවර ගැනීම වැනි පියවර ඔස්සේ මේ ආණ්ඩුව තරම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මුදල් වෙන්කළ කිසිඳු ආණ්ඩුවක් නැති බව කිව යුතුයි.
මේ වනවිට වව්නියාව දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගෙන විශාල සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. ගම්පෙරලිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, නිවාස ඉදිකිරීම, නැවත පදිංචි කිරීම, වව්නියා ආර්ථික මධ්‍යස්ථානය, වියලි කලාපයේ ජලය බෙදාහැරීමේ ව්‍යාපෘතිය, හොඳම පාසල ලඟම පාසල, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනත් වැඩසටහන්, එපමණක් නොව අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ මාර්ග දියුණුව සදහා රුපියල් බිලියන 20.05 ක් වැයකර තිබෙනවා. මේ අනුව බලන විට වව්නියාවට පමණක් රුපියල් බිලියන 22කට වඩා වැඩි මුදලක් වැය කරමින් සංවර්ධන කටයුතු සිදුකර තිබෙනවා. ඉතිහාසයේ කිසිඳු කාලයක මෙවැනි සංවර්ධනයක් වව්නියාවේ ඇති වී නැහැ. මෙලෙස මුදල් ලබාදී නැහැ. සංවර්ධනයක් වව්නියාවේ සිදු කිරීමට හැකිවීම ගැන අගමැතිවරයා වශයෙන් මම සතුටුවෙනවා.
අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ තවත් මාර්ග 64ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව කිව යුතුයි. එමෙන්ම ලබන සතියේ දී මේ ප්‍රදේශයටත්, මන්නාරමටත්, අනුරාධපුරයටත් බලපාන මල්වතු ඔය ජලාශයේ වැඩකටයුතු අපි ආරම්භ කරනවා.
මීට පෙර පැවති ආණ්ඩු සිදු කළේ මහා මාර්ග ඉදිකිරීම පමණයි. ග්‍රාමීය ප්‍රදේශ දෙස බැලූවේ නැහැ. අපි කිසිවිටකත් වව්නියාව අමතක කළේ නැහැ. සංවර්ධන වැඩසටහන් ලබාදීමේ දී වව්නියාව කොන්කලේ නැහැ. අද සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස පහසුකම් ලබාදී ක්‍රමානුකූල දියුණුවක් වව්නියාවේ ඇතිකරමින් අද ඉදිරියට යන බව සිහිපත් කළ යුතුයි.
මේ වන විට වව්නියාවේ සෑම ප්‍රදේශයකම මූලික යටිතල පහසුකම් ඇතිකර තිබෙනවා. එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය වෙනත් විශ්වවිද්‍යාලයක් බවට පත් කළ යුතු බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබෙනවා. මහේෂ්වරන් ඇමතිතුමිය ද මේ පිළිබඳව මැදිහත්වී දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින බව කිව යුතුයි.
එපමණක් නොව දැන් අපි උත්සාහ කරන්නේ ඉදිරි පස් වසර තුල වන්නි ප්‍රදේශයම ආවරණය වන පරිදි පවුල් සංවර්ධනයක් සිදුකිරීමටයි. බස්නාහිර පළාත මහනගරයක් බවට පත්කිරීමට අප පියවර ගත්තා. ඒවගේම හම්බන්තොට, මාතර වැනි ප්‍රදේශ දියුණු කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මධ්‍යම අධිවේගි මාර්ගය නිසා මහනුවර ප්‍රදේශයේ විශාල නාගරිකරණයක් සිදුවෙනවා. එපමණක් නොව කුරුණෑගලත් නාගරීකරණයක් සිදු වෙනවා.
මෙම දියුණුවත් සමඟ රටට ආහාර සපයන ප්‍රදේශයක් ලෙස වන්නි ප්‍රදේශය හඳුනාගෙන තිබෙනවා. සාම්ප්‍රදායික කෘෂිකර්මය වෙනුවට නවීන කෘෂිකර්මය වන්නියට හඳුන්වාදීමට අප සැලසුම් කර තිබෙනවා. ජලය ලබාගැනීම සඳහා තවමත් පවතින්නේ සිංහල රජ සමයේ සිට පැවතෙන ක්‍රමවේදයක්. ඒ වෙනුවට නවීන ක්‍රම වන්නි ප්‍රදේශයට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව කිව යුතුය.
නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කරනවා නම් මේ රටට පමණක් නොව දකුණු ඉන්දියාවට අවශ්‍ය කරන ආහාර මේ ප්‍රදේශවලින් සැපයිය හැකියි. සත්ව පාලනය, කුකුල් ෆාම්, නවීන බෝග වගාව, මෙන්ම ධීවර කර්මාන්තය නවීකරණය කර විශාල ප්‍රයෝජනයක් ලබාගත හැකියි.
අපේ රටවටා පිහිටා තිබෙන මුහුදෙන් මීට වඩා ප්‍රයෝජනයක් රටට ලබාගත යුතුයි. මේ අනුව ධීවර කර්මාන්තය, කෘෂිකර්මය, සත්ව පාලනය, ජල පාලනය ඇතුළු සියලූ ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි. එපමණක් නොවෙයි. වන්නියේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා. දැනටමත් ඒ සඳහා මන්නාරම - පුනරීන් අතර ප්‍රදේශයක් අප තෝරාගෙන තිබෙනවා. වඩමාරච්චි ප්‍රදේශයටද එය ව්‍යාප්ත කිරීම අපේ අරමුණයි.
මෙම සංවර්ධන ක්‍රියාදාමය අනුරාධපුරය කේන්ද්‍රකරගෙන ඉදිරියට ගොස් යාපනය කරා ගෙන යනවා. යාපනය නගරයේ විශාල ආර්ථික ක්‍රමයක් ඇති කරනවා. ඒ සඳහා රජයත්, පුද්ගලික අංශයත්, විදේශ සහායත් යොදවනවා.
එදා උතුරේ ශක්තිමත් ආර්ථියක් ගොඩ නැගී තිබුණා. අද එය කඩා වැටී තිබෙනවා. කඩා වැටුණු උතුරේ ආර්ථිකය අප නැවත ගොඩනැගිය යුතුයි. උතුරේ ඉඩම් සම්පතට අමතරව මිනිස් සම්පතක් තිබෙනවා. අධ්‍යාපනය මේ සියල්ල ගොඩනගා වන්නිය සංවර්ධනය කළ යුතුයි. එලෙස වන්නිය සංවර්ධනය කරනවා නම් සංවර්ධනය කරන අය සමඟ ඉදිරියට යා යුතුයි.
පැවති ආණ්ඩුවේ වසර දහයක පාලන කාලය තුළ වන්නියේ සංවර්ධනයක් වුනේ නැහැ. ඒ අය වන්නිය අමතක කළා. වන්නිය අමතක කළ අයට නැවත බලය දීමෙන් පළක් වන්නේ නැහැ.
මගේ අරමුණක් වී තිබෙන්නේ මේ වන්නි ප්‍රදේශය ආරක්ෂාකර එය දියුණු කිරීමයි. අද මෙම ස්ථානයට පැමිණ සිටින රාජිත සේනාරත්න මැතිතුමා හා මා එදා දෙපැත්තක සිටියත් ඉන්දු ලංකා ගිවිසුම මෙන්ම මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් අප සටන්කර තිබෙනවා.
වන්නි දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිංහල, දෙමළ, මුස්ලිම් ජනකොටස් එකට ජීවත් වෙනවා. මෙමගින් අනෙකුත් ප්‍රදේශවලට හොඳ උදාහරණයක් ලබා දෙනවා. මේ ප්‍රදේශයේ සංවර්ධනයත්, සමගියත් ඔබේ ගෞරවයත් ආරක්ෂා කළ යුතුයි. ඒ වෙනුවෙන් අප ඉදිරියට යමු.
මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමෝහන්, නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති ඊවා වැන් වුසර්ම් (Mrs. Eva van Woersem), වව්නියා දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය නන්ද කුමාරන්, හිටපු උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය සත්‍යලිංගම්, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෙඣීවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් රැසක් සහභාගීව සිටියහ.