විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පළාත් සභා වෙත බලතල වැඩි කිරීමට පොරොන්දු උනා - වර්ධරාජා පෙරුමාල්

ඉන්දු ලංකා ගිවිසුමෙන් ඇති කළ උතුරු – නැගෙනහිර පළාත් සභාවේ පළමු හා එකම මහ ඇමතිවරයා බවට පත්වූයේ වරදරාජා පෙරුමාල් මහතා වන අතර උතුරු – නැගෙනහිරට වෙනම ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලද්දේද ඔහු විසිනි. ඔහු විසින් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හට සහාය දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සමඟ එකඟතාවයකට එළඹ තිබේ. පළාත් සභාවලට දැනට පවතින බලතල අඩු බවට විශ්‍රාමික ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් බවත්, පළාත් සභා වෙත බලතල වැඩි කිරීමට ඔහු පොරොන්දුවූ නිසාත් මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරන ලද ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා හට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමට තීරණය කළ බව උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරදරාජා පෙරුමාල් මහතා මේ බව සඳහන් කර ඇත. ඔහු තව දුරටත් සඳහන් කලේ  "එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව 2015 නැවතත් බලයට පත්වීමෙන් පසුව ගතවූ පස්වරක කාලයේ දී කිසිදු වැඩකට ඇති වැඩක් කළේ නැහැ. ඔවුන් හා අත්වැල් බැදගෙන හිටපු දෙමළ ජාතික සන්ධානයත් කළේ ඒ වැඩේමයි. මේ නිසා දෙමළ ජනතාව දැඩිව රැවටීමකට ලක්වුණා. මේ නිසා අපි දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විදිහට තීරණය කළා මේ රටේ දෙමළ ජනතාවගේ බඩගින්න නිවන්නයි. ඒ ජනතාවගේ ආර්ථිකය නංවන්නයි. යුද්ධයෙන් විනාශ වී ගියපු උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කරන්නයි පුළුවන් එකම නායකයා හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවේ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියලා. ඒ නිසයි අපි තීරණය කළේ මහින්ද රාජපක්ෂගේ අනුශාසනාවෙන් ඔහුගේ උපදේශයෙන් නම් කරන ජනාධිපති අපේක්ෂකයා වෙත අපේ සහාය ලබාදෙන්න. මහින්ද රාජපක්ෂ මහතා පළාත් සභා වෙත පවතින බලතල අඩුයි කියන එක පිළිගෙන සිටිනවා. ඒ නිසාවෙන් පළාත් සභා වෙත බලතල වැඩි කරන්නත් ඔහු පොරොන්දු වී තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ යුද්ධය ඉවර කරපු නායකයා තමයි. ගොඩක් දෙනෙක්ට ඒක අමතක වෙලා" යැයි පවසා සිටියේය.