රටක ප්‍රජාතන්ත්‍රවාදය රදා පැවතීමටනම් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන පාද තුන ශක්තිමත් විය යුතුයි- එම පාද තුන රදා පවතින පොලව ඉරි තැලිම්, නායයෑම් වලට ලක්ව ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව හා නිවැරදිව ක්‍රියාත්මක විම බලාපොරත්තු විය නොහැකියි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය පාද තුනක් මත රදා පවතිනවා. ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන එම පාද තුන ශක්තිමත් වීමට නම් එම පාද තුන රදා පවතින පොලව වැදගත් වෙනවා. එම පොලව ඉරි තැලිම්, නායයෑම් වලට ලක්ව ඇත්නම් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන පාද තුන මත ඇති ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව හා නිවැරදිව ක්‍රියාත්මක විම බලාපොරත්තු විය නොහැකියි. එවැනි තත්වයකට පසුගිය වසරේ අවසන් භාගයේ අප රට මුහුණ දෙනු ලැබුවා.
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පසුගිදා පැවැති 5වන ආසියානු පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනය අමතා පා.ම පාලිත රංගේ බණ්ඩාර මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දැක්වූ එතුමා,
කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සැලකිමේදි 1931 වසරේ ඩොනමොර් ආණ්ඩුක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මෙරට සිදුකල මුලික අඩිතාලම ලෙස පෙන්වා දිමට හැකි වෙනවා. 1947 සොල්බරි ආණ්ඩුක්‍රමය තුළින් ඩොනමොර් ආණ්ඩුක්‍රමයෙන් අප රටට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ස්ථිරව ස්ථාපිත කරනු ලැබුවා.
මෙහිදි ඩොනමොර් ආණ්ඩුක්‍රමය මඟින් හඳුන්වා දුන් සර්ව ජන ඡන්ද බලය ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා වැදගත් සාධකයක්. මුල් අවස්ථාවේදි කාන්තා පාර්ශවයට ඡන්ද බලය වෙනුවෙන් සීමාවක් පනවා තිබුණත් ලාංකික දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ එම වයස් සීමාව අවුරුදු 21 දක්වා අඩුකර ගැනිමට අපට හැකියාව ලැබුණා.
ශ්‍රි ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විමේදී එය බ්‍රිතාන්‍ය ආකෘතිය ආදර්ශයට ගනු ලැබුවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඉදිරියට යමින් 1972 වර්ෂයේ දී ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනිමටත් 1978 වර්ෂයේ දී දෙවන ජනරජ ආණ්ඩුව ස්ථාපිත කර ගැනිමටත් අප රටට හැකියාව ලැබුණා.
එහිදි 1972 ආණ්ඩුක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වු අතර 1978 ආණ්ඩුක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමයේ හා ජනාධිපති ක්‍රමයේ සම්මිශ්‍රණයක් ලෙස දෙමුහුන් ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කරමින් ක්‍රියාත්මක වුණා.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් නිතීය හා සාමය ආරක්ෂා කිරීමටත් රටේ පරිපාලනය විධිමත් කිරිමටත් නිදහසෙන් පසු අප රටට හැකියාව ලැබුණා.
2015 වර්ෂයේ නව ආණ්ඩුව පිහිටුවිමෙන් පසු 2018 වසරේ අවසාන භාගය වන විට අභාග්‍ය සම්පන්න දේශපාලන වාතාවරණයකට මුහුණ දීමට අප රටට සිදු වුවා.
ව්‍යවස්ථාදායකය විසින් සම්මතකරනු ලැබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විධායකය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක විම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කලූ පැල්ලමක් වනවා. එහිදි ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමටත් අගමැතිවරයාව අත්තනොමතිකව ධුරයෙන් ඉවත් කිරිමටත් රටේ මුල් පුරවැසියා වන ජනාධිපතිවරයා ක්‍රියාකරනු ලැබුවා.
මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන් දෙකට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවා. එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් මෙම නඩු දෙකෙහි ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා ගනු ලැබු තීරණ නීති විරෝධි බව පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීරණය කරනු ලැබුවා. ඒ අනුව විධායකයේ අත්තනෝමතික කටයුතු කිරීම් නතර කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට ප්‍රජාතන්ත්‍රවාදයේ එක් පාදයක් වන මෙරට අධිකරණයට හැකියාව ලැබුණා. එම තීන්දුව නිසා අදටත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී පවතිනවා.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අවුරුදු 4 ත් මාස 6 ක් ගත වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ඉතා පැහැදිලිව සදහන් වෙනවා. එමෙන්ම අගමැතිවරයා ඉවත් කිරිමට බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත විම හැරුණු කොට අග්‍රාමාත්‍යවරයාව ධුරයෙන් ඉවත් කිරිමට නම් ඔහු ධුරය හැර යායුතු වෙනවා. එහෙත් එම විධි විධාන පසෙකලා අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබුවා. අගමැතිවරයා ඉවත් කිරිමේ ක්‍රියාපටිපාටිය සදහන් කළ යුතුයි.
ආණ්ඩුව ඉවත් කළ හැකි තුන් ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන් වෙනවා. ඒ අනුව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත විම, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජයට පත් විම හා මුදල් පනත - අයවැය පනත පරාජයට පත්විම එම ආකාර තුනයි.
ඉහත තුන් ආකාරයට පමණක් ආණ්ඩුව ඉවත් කිරිම මේ විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සලසා ඇතත් ආණ්ඩුවට බහුතර බලයක් පැවැති අවස්ථාවක ව්‍යවස්ථා විරෝධිව ආණ්ඩුව ඉවත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ක්‍රියාකිරිම අත්තනෝමතික අමානුෂික ක්‍රියාවලියක් බව ඉතා පැහැදිලිව සදහන් කිරිමට හැකියාව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති තවත් අවස්ථාවක් වන්නේ අමාත්‍ය මණ්ඩලය පත්කිරිමේ දි ව්‍යවස්ථා විරෝධිව කටයුතු කිරිමයි. එහිදි ව්‍යවස්ථාවෙන් ජනාධිපතවරයාට බලය ලැබි ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරන ලද මන්ත්‍රිවරයෙකු අමාත්‍යවරයෙකු ලෙස පත් කිරිමටයි. ව්‍යවස්ථාවේ සදහන් එම කරුණු පවා වත්මන් ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කර තිබේනවා. මෙම අසාධාරණයට මා මෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාත් ලක්වුවා. අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට අප පත් කල ද ජනාධිපතිවරයා විසින් අපගේ පත්විම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. දෙවන අවස්ථාවේ කැබිනට් නොවන අමාත්‍යවරු පත් කිරිමේ දි අග්‍රාමාත්‍යවරයා රවි සමරවීර, රාධා ක්‍රිෂ්ණන් යන මන්ත්‍රිවරු හා පාලිත රංගේ බණ්ඩාර වන මාද නිර්දේශ කරනු ලැබුවා. ජනාධිපතිවරයා එම අවස්ථාවේ ද රවි සමරවීර, රාධා ක්‍රිෂ්ණන යන මන්ත්‍රිවරුන්ට කැබිනට් නොවන අමාත්‍ය ධුර ලබා දෙමින් මා හට එම අවස්ථාව අහිමි කරණු ලැබුවා. එය ව්‍යවස්ථාවේ 43 වන වගන්තිය උල්ලංඝනය කිරිමක්. එමෙන්ම නැවත අවස්ථාවක අමාත්‍යධූර සදහා මාගේ මෙන්ම විජිත් විජයමුණි සොයිසා, වසන්ත සේනානායක, ෆවුසි, ලක්ෂ්මන් සෙනවිරත්න, ඉන්දික බණ්ඩාරනායක යන මන්ත්‍රිවරුන්ගේ නම් නිර්දේශ කළ විටද  ජනධිපතිවරයා වසන්ත සේනානායක මන්ත්‍රිවරයාව පමණක් පත් කරමින් අන් සියලූ දේනාම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මෙම තත්වයන් තුළ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිම පමණක්ම නොව පෞද්ගලිකව වෛරී චේතනාවෙන් ආණ්ඩුව  අසමත් කිරිමට උත්සහ දැරිමද පෙන්වා දිය හැකියි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සැලකිමේදි ඉතාමත් කණගාටුදායක තත්වයක් බව අවසන් වශයෙන් සදහන් කරමි.