ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන වත්මන් ආණ්ඩුවට රටේ අනාගතය ගොඩනැගිය හැකියි - අගමැති

ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන වත්මන් ආණ්ඩුවට රටේ අනාගතය ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 01 වැනිදා කොළඹදී පැවසීය.
පාස්කු ප්‍රහාරයෙන් පසු නිසි ක්‍රියාමාර්ග ගනිමින් ශක්තිමත්ව ඉදිරියට පැමිණි නිසා කෙටි කාලයක් තුළ රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තරය දැඩි විශ්වාසයක් තබා තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසු ගත වූ කෙටි කාලය තුළ පමණක් ජාත්‍යන්තර වෙළෙඳපොලෙන් ඩොලර් මිලියන 1000 කට අධික ණය ආධාර ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූ බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම ජපානයේ බැඳුම්කර වෙළෙඳපොලට ගොස් ඩොලර් මිලියන 500 ක සමුරායි බැඳුම්කර ලබා ගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඉන්දියානු ආධාර යටතේ කොළඹ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ඉදිකරන ලද  "මෙට්‍රෝ හෝම්ස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට පසුගිය 01 වැනිදා සහභාගි වෙමිනි.
රුපියල් මිලියන 7000 ක වියදමින් ඉදිකරන ලද මෙම මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 626 කින් හා වෙළෙඳසැල් 120 කින් සමන්විත වේ. 
"මෙට්‍රෝ හෝම්ස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය. 
"මෙට්‍රෝ හෝම්ස්” ව්‍යාපෘතිය යටතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබෙනවා. මේ ප්‍රදේශය තුල විශාල සංවර්ධනයක් ඇතිවී තිබෙනවා. මීට පෙර පැවති නිවාස වෙනුවට අළුතින් නිවාස ඉදිකර තිබෙනවා. මෙම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සිදුකල  ටොටා සමාගමෙ තවත් වර්ග අඩි මිලියන 03ක විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සූදානම් වෙනවා. එය සාප්පු සංකීර්ණ, කාර්යාල, නිවාස ඇතුලත් මිශ්‍ර සංවර්ධනයක් සහිත  කුඩා නගරයක් බව සඳහන් කළ යුතුයි.
මෙතෙක් කල් මෙම මාර්ගයේ නවලෝක ගොඩනැගිල්ල දක්වා පමණක් තිබූ සංවර්ධනය මේ ප්‍රදේශවලටත් පැමිණෙමින් තිබෙනවා. මෙම සංවර්ධනය තුලින් බොහෝ පිරිසකගේ ආදායම් මට්ටම් ඉහල යනවා. ප්‍රදේශයේ ජනතාවට නව ව්‍යාපාර ආරම්භ කළ හැකි හිතකර වටපිටාවක් මේ වන විට ඇතිකර තිබෙනවා. මෙම ප්‍රදේශය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්කරනවා.  ඉන්දියන් සාගරය මධ්‍යයේ ප්‍රධාන මහ නගරය බවට කොළඹනගරය පත්කිරීමේ සැලසුමේ කොටසක් බව සඳහන් කරන්න කැමතියි. 
මෙම ස්ථානය ඇතුළුව කොළඹ නගරය තුළ හා බස්නාහිර පළාත් අවට අළුතින් ගොඩනැගිලි ඉදිවෙමින් සීඝ්‍ර සංවර්ධනයක් ඇතිවෙනවා. ඒ වගේම අලූතින් නාගරික සංවර්ධන වැඩකටයුතු සිදුවෙනවා. පසුගිය වසර කිහිපය තුල බස්නාහිර පළාතේ වෙනස්කම් රැසක් සිදුකර තිබෙනවා. එවැනි පරිවර්තනයක් ඇති කිරීමට අපට හැකි වුණා. මෙය මහ නගරයක් ඇති කිරීමේ ආරම්භය බව සඳහන් කළ යුතුයි. 
මෙහෙම මහ නගර ඇති කළහැකිද දැයි කියා ඇතැමුන් අපට සිනාසුණා. ඇතිවී තිබෙන වෙනස දැන් ඔවුන්ට දැකගන්න පුළුවන්. මෙම වෙනස ඇති කිරීමට නායකත්වය ලබාදීම පිළිබදව පාඨලි චම්පික රණවක ඇමතිතුමාට මම ප්‍රශංසා කරනවා. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඇති කර එයට නායකත්වය ලබාදිය හැකි හොඳම පුද්ගලයා පාඨලි චම්පික රණවක ඇමතිතුමා බව මම විශ්වාස කළා. ඒ අනුව අමාත්‍යාංශය බාර ගෙන බස්නාහිර පළාත තුළත් අනෙකුත් ප්‍රදේශයන්හි නගර තුළත් විශාල සංවර්ධනයක් සිදු කර තිබෙනවා.
2015 සිට අද වන තෙක් මෙවැනි සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් වියදම් කළ මුදල් ප්‍රමානය 2015 වසරට පෙර වියදම් කළ මුදල මෙන් දස ගුණයක් බව සදහන් කළ යුතුයි. 2010 – 2014 කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරිය වියදම් කළ සම්පූර්ණ මුදල නාගරික සංවර්ධනය වෙනුවෙන් එක් වසරක් තුළ අප වියදම් කරනවා. ඇතැම් පුද්ගලයින් පුරාජේරු කතා පැවසුවාට සැබෑ සංවර්ධනය ඇති කළේ කවුරුන්ද යන්න හොඳින් සිතා බැලිය යුතුයි. සමස්තයක් වශයෙන් මෙම කටයුතු සිදුකළේ 2015 වසරෙන් පසුව පාඨලි චම්පික රණවක ඇමතිතුමා බව සඳහන් කරන්න කැමතියි.
මේ පිළිබඳව තර්කයක් තිබේ නම් ප්‍රසිද්ධියේ කියන්න. අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස ඇති කිරීමට අපගේ පාලන කාලය තුළ හැකියාව ලැබුණා. ඇතිවී තිබෙන දියුණුවත් සමඟ නව නගරයකට අඩිතාලම දමා තිබෙන බව මෙහිදී සඳහන් කළ යුතුයි.
නවීන ආර්ථිකයක් සහිත නව රටක් අප ඇති කරනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූවත් සියලූ අභියෝගවලට නොපසුබට වී සංවර්ධන ක්‍රියාවලිය අප ඉදිරියට ගෙන ගියා. පසුගියදා බියගම – කඩුවෙල පාලමේ මන්තීරු දෙකක් විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. අද මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට හැකි වුණා. මෙවැනි විශාල සංවර්ධනයක් රට තුළ ඇති කරමින් ආර්ථිකය ස්ථාවර භාවයකට පත්කිරීමට අපට හැකි වුණා.
2015 වසරේ අප රට බාරගන්නා අවස්ථාවේ ජාත්‍යන්තරයෙන් ණය ලබා ගත නොහැකි තත්වයක පැවතියා. වසර 07ක් පමණ ණය ලබාගෙන ඒවා ගෙවීමට නොහැකි තත්වයක් පැවතීම නිසා ජාත්‍යන්තර තුළ අපගේ රට කෙරෙහි තිබූ විශ්වාසය නැති වුණා. ණය ලබාගැනීමකින් තොරව අය වැය පියවා ගැනීමට අපට හැකියාවක් නැහැ. ඒ නිසා විශාල ආර්ථික අර්බූදයකට රට ලක්ව තිබුණා. ගෙවී ගිය වසර කිහිපය තුළ අභියෝග රැසකට මුහුණ දෙමින් රටේ ආර්ථික ස්ථාවරභාවයක් අප ඇති කළා.
රට කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසය ඇති කිරීමට අපට හැකි වුණා. ඒ විශ්වාසයත් සමග නැවත ණය මුදල් ලබාගැනීමට හැකි වුණා. එවැනි විශ්වාසයක් සමග අපට ඉදිරියට යාමට හැකි වුණා. අභියෝග රැසකට මුහුණදීමට සිදුවුණත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඩොලර් මිලියන 1000කට වඩා අපට උපයා ගැනීමට හැකිවීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
ජපාන බැඳුම්කර වෙළඳපොළ තුළ ඩොලර් මිලියන 500ක පමණ සමුරායි බැඳුම්කර මිලදී ගැනීමට අප තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තරය අප කෙරෙහි තැබූ විශ්වාසය නිසා මේ සියල්ල සිදුකිරීමට අපට හැකි වූ බව මතක් කරන්න කැමතියි. කොතරම් අපහසුතා ඇති වුවත් ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට අප කටයුතු කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට කඩා වැටේවි යැයි ඇතමුන් සිතුවා. නමුත් අද වන විට ආර්ථිකය ස්ථාවර කර බියකින් තොරව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ප්‍රහාරය නිසා රුපියල් බිලියන 200කින් ආදායම අඩුවීමෙන් ආර්ථිකය පසුබෑමකට ලක් වුණා. එවැනි අභියෝග හමුවේ වුවත් රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල අප නතර කළේ නැහැ.
මැයි මාසය තුල සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට තිබුණත් මේ වන විට එහි යම් වර්ධනයක් සිදු වී තිබෙනවා. කෙටි කාලීන පියවරක් වශයෙන් ඉන්දියානු සංචාරකයින් ගෙන්වා ගැනීමට අපේ අවධානය යොමු වී තිබෙනවා. රට විශාල දියුණුවක් කරා ගෙන යන බව සඳහන් කරන්න කැමතියි.
රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අවශ්‍ය ශක්තිය වෙන කිසිවෙකුටත් නැහැ. කවුරු මොනවා කීවත් අපි රට සංවර්ධනය කිරීමේ ගමන ඉදිරියට ගෙන ගියා. කොපමණ දෝෂාරෝපන එල්ල කළත් රට වෙනුවෙන් හොඳ ප්‍රතිඵල අප ලබා දී තිබෙනවා. ආර්ථිකය තුල අපනයන, නිෂ්පාදනය, ආදායම ඉහල නංවමින් ඉන් ඉදිරියට ගමන් කළයුතුයි. ආදායම වැඩිකර රටේ ණය ප්‍රමාණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අනාගතයේ ඇති කරන බව සඳහන් කරන්න කැමතියි. ආර්ථිකය ශක්තිමත් කර රට ඉදිරියට ගෙන යා හැකි බව අප ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.
ණය පිළිබඳව බියකින් තොරව ඉදිරි වසර 05 තුල මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමෙන් එම ණය ගෙවා  ඉදිරියට යා හැකියි.  මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සෑම අභියෝගයකටම මුහුණ දෙමින් අනාගතය සකස් කළ හැක්කේ මෙම ආණ්ඩුවට පමණක් බව ප්‍රකාශ කරන්න කැමතියි. ණය ලබාගැනීමට නොහැකි කියා අපි ඡන්දය ඉල්ලන්නේ නැහැ. සංවර්ධන වැඩකටයුතු අවසන් කර සාර්ථකව ඉදිරි මැතිවරණයන්ට අපි මුහුණ දෙනවා. ආර්ථිකයේ සාර්ථක ප්‍රතිඵල අප පෙන්වා තිබෙනවා.  අප සියලූ දෙනාටම අමාරු කාලයක් තිබුණා. ඒත් අපට සෑහිමකට පත්විය හැකි අනාගතයක් තිබෙනවා. අපේ දරු පරපුරට ඒ හොඳ අනාගතය හිමිවන බව සඳහන් කළ යුතුයි.
මෙම විවෘත කිරීමේ උත්සවයට මට අරාධනා කිරීම පිළිබඳව මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතිය මගින් නව නිවාස හිමිවූ නිවාසලාභීන්ට මාගේ සුබ පැතුම් එක් කරනවා.
මෙම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, හිටපු පළාත් සභා මන්ත්‍රී ෆයිරූස් හාජ්ජියාර්, ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.