හැමූ සුළඟින් පීදෙන ගොයමටත් හානි - රෝගයක් නොවේ

සබරගමුවේ විශාල ගොවි ජනපදයක් වන බලන්ගොඩ, කල්තොට ගොවි ජනපදයෙන් පසුගියදා ලැබුණු තොරතුරක් පළාතේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් බතලගොඩ වී පර්යේෂණායතනය වෙත යොමු කරන්නට යෙදුණි. මේ මගින් කියැවුණේ පූදින ගොයමට හඳුනාගැනීමට අපහසු රෝගී තත්ත්වයක් හදිසියේ පැනනැගී ඇති බවයි. ඒ වනවිටත් දිනපතා පුවත්පත් කීපයකත් තොරතුර
වාර්තා වී තිබුණු නිසා බතලගොඩ වී පර්යේෂණායතනයේ නිලධාරී කණ්ඩායමක් කරුණු විමසා බැලීමට අදාළ ප‍්‍රදේශය බලා පිටත්ව යන ලදී. ඔවුන්ට ඇවැසි තොරතුරු දෙන්නට කෘෂිකර්ම උපදේශකවරුන්, තාක්ෂණ සහකාරවරුන් ඇතුළු ගොවි මහතුන් පිරිසක් ද ඒ වනවිටත් වෙල්යායට පැමිණ සිටියහ.
”කලින් දවසේ හොඳට තිබුණු ගොයම. දින දෙකක් ඇතුළත ළපටි මල් සුදුපාට වෙලා. අල්ලලා බැලූවම කරල බොල්. ඉතාම ඉක්මනින් මේ තත්ත්වය පැතිරෙනවා. උදේට වඩා හවසට වැඩියි. මේ තත්ත්වය පතිරුනොත් මේ කන්නයේ අපි අනාථයි.”
”අපි අවුරුදු තිහකට එපිට කාලේ ඉඳල කුඹුරු වැඩ කරනවා. මේ වගේ ලෙඩක් නම් අපේ කුඹුරට මීට කලින් හැදිලා නෑ. වී ඇටේ ඇතුළේ මොකුත් නෑ.”
රැුස්ව සිටි ගොවීන් පිරිසක් නිලධාරීන් හමුවේ මැවිසිලි නඟන්නට විය. පරීක්ෂණ කණ්ඩායමේ නායකත්වය ඉසිලූ බතලගොඩ වී පර්යේෂණායතනයේ ප‍්‍රධාන කීට විද්‍යාඥ සුසන්ති චන්ද්‍රසේන මහත්මිය මෙහිදී සඳහන් කරන්නේ නිරීක්ෂණයට භාජනය කළ කිසිදු යායක රෝග හෝ පළිබෝධ හානියකට අදාළ ලක්ෂණ නිරීක්ෂණය නොවුණු බවයි. ඔවුන් විසින් වැලිපතයාය ඞී. 1 ඇළ හා පුරානගම ඞී. 3 ඇළ අවට පිහිටි අක්කර 60 ක් පමණ වූ භූමි භාගයක් පරීක්ෂා කරන්නට යෙදුණි. බී. ජී. 360 (කීරි සම්බා*, බී. ජී. 352 සහ ඒ. ටී. 362 වැනි මාදිලි මෙම ක්ෂේත‍්‍රයන්හි වගා කොට තිබූ අතර ඒවාහි පත‍්‍ර අග පිළිස්සී සුදු පැහැ ගැන්වී තිබුණු අතර, හානිවූ කරල් සුදුවී බොල්වී තිබීම ද ගොවීන්ගේ සාධාරණ හා සත්‍ය නිරීක්ෂණයන් විද්වත් කණ්ඩායම විසින් අවබෝධ කරගන්න ලදී. හානිය කුඹුරේ තීරු වශයෙන් නිරීක්ෂණය වීම ද සුසන්ති මහත්මියගේ අවධානයට ලක්වූ අතර ජුලි 18 හා ඊට ආසන්න දින දෙකක කාලය තුළදී මේ ප‍්‍රදේශය හරහා දැඩි වියළි සුළඟක් හමාගොස් ඇති බවත්, ගස්වල අතු පවා බිඳීගොස්, නිවෙස් වලට පවා හානි වී ඇති බව ඔවුන්ගේ අවධානයට යොමුවූ තවත් කරුණක් විය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද තහවුරුකර ඇත්තේ එම දිනවල වියළි සුළං ප‍්‍රවාහයක් මේ ප‍්‍රදේශය හරහා ගමන්කර ඇති බවයි.
මල් පිපෙන අවධියේ පවතින ගොයම පැය 18 කට අධික කාලයක් මෙවන් පාරිසරික තත්වයකට මුහුණදුන් විට පුෂ්ප කොටස් වියළී යයි. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ ඇට බොල්වීමයි. මෙය යථා තත්ත්වයට පත්වන්නේ නැති බැවින් අස්වැන්න හානියක් සිදුවෙන බව සුසන්ති මහත්මිය පවසා සිටී.
”මහනුවර දිස්ත‍්‍රික්කයේ මිනිපේ, හසලක, මොරයාය, හඳගනාව වැනි ප‍්‍රදේශවලිනුත් මෙවැනිම තත්ත්වයක් වාර්තා වුණා. කලබල වෙලා රෝගයක් කියල සැකකරමින් බෙහෙත් ගහන්න එහෙම යන්න එපා. සුළඟින් ළපටි මල්කිනිති වේළීම පමණයි වෙලා තියෙන්නේ. ඉදිරියේදී අනුගමනය කළහැකි දෙයක් තමයි නියරවල සුළං බාධක වශයෙන් යම් ගස් වර්ගයක් වැවීම.”
කීට විද්‍යාඥවරිය පෙන්වා දෙයි. නියර මත එවන් සුළං බාධකයක් පවතින්නේ නම්, පලිබෝධ මර්දනයට ද එය යම් සේවයක් සලසා දෙයි. කුඹුරේ වෙසෙනා කෘමි සතුන් අල්ලාගන්නා කුරුල්ලන් ගෙන්වා ගැන්මට නියර මත ඇති ශාක උපකාර කරනා බැවිනි. නූතන තාක්ෂණය, වැඩිදියුණු කළ ප‍්‍රභේද ආදිය කුමක් තිබුණත්, ගොවිතැන වනාහී පරිසරයත් සමඟ කෙරෙනා සුහද
ගනුදෙනුවක් බව නැවතත් අපට තහවුරු කරවීමට මෙවන් සිදුවීම් සමත්වන අතර නිරන්තර සුපරික්ෂාකාරීත්වය ගොවිතැනේදී පිළිපැදිය යුතු ඉතා වැදගත් සිරිතක් බව අමතක නොකළ යුතුව ඇත.