පහළ සිට ඉහළට අදහස් ගලා එන 'ග්‍රාම රාජ්‍ය සංකල්පය' හරහා ජනතාවට බලය හිමිවන නව පාලන ක්‍රමයක් රට තුළ ඇති කිරීම අරමුණයි - අමාත්‍ය සජිත්

පහළ සිට ඉහළට අදහස් ගලා එන ‘ග්‍රාම රාජ්‍ය සංකල්පය’ හරහා ජනතාවට බලය හිමිවන නව පාලන ක්‍රමයක් රට තුළ ඇති කිරීම තම අරමුණ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට සුදුසුම ක්‍රමය වන්නේ ‘ග්‍රාම රාජ්‍ය සංකල්පය’ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාවට බලය හිමිවන මෙම ක්‍රමවේදය කතාවට පමණක් සීමා නොකර ජනතා සිතුම් පැතුම් ඉටුවන අයුරින් මෙරට කුඩා ගම්මාන 42,000 කේන්ද්‍ර කර ගෙන එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළේය.
බොහෝ දේශපාලඥයින් විපක්ෂයේ සිටින විට ජනතාවට බලය ලබා දිය යුතු යැයි වේදිකාවල සිට ප්‍රකාශ කරන නමුත් ඔවුන් බලයට පැමිණි පසු ජනතාවගේ බලය හීන කර පාලකයින්ගේ බලය තහවුරු කිරීමට කටයුතු කරන බවදඅමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.  
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අඟුණුකොළපැලැස්ස, උස්වැව ප්‍රදේශයේ ඉදිකළ “සිත්කළුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (29) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 228 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
“සිත්කළුගම” උදා ගම්මානය නිවාස 51 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 489 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.
ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 51 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය සහ රුපියල් ලක්ෂ 153 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 51 ක හිමිකම නොමිලේ ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
මීට අමතරව රුපියල් ලක්ෂ 502 ක් වටිනා මතු සඳහන් ප්‍රතිලාභ ලබාදීමද මෙම උත්සවයේදී සිදු විය. මේ යටතේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 150 කට රුපියල් ලක්ෂ 300 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 50 ක් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 118 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, ප්‍රතිලාභීන් 9 දෙනෙකු සඳහා රුපියල් 180,000/= ක් වටිනා ස්වයං රැකියා ණය, පාසල් දරුවන් 10 කට රුපියල් 40,000/= ක් වටිනා පාසල් උපකරණ ලබාදීම සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීම සිදු විය. වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විණී.  
මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් විශාල පිරිසක් සහභාගී වූහ.