දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට ගත වූ වසර කිහිපය තුළ ආණ්ඩුව පියවර ගත්තා - අගමැති

ජනතාවට වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට ගත වූ වසර කිහිපය තුළ ආණ්ඩුව පියවර ගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එහි ප්‍රතිඵල ඉදිරි වසර කිහිපය තුළ ලබාගැනීමට හැකි වනු ඇති බව පැවසීය.
වත්මන් ආණ්ඩුව 2015 සිට මේ දක්වා විවිධ අභියෝගවලට මුහුණදෙමින් නවීන ආර්ථිකයක් හා ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා කැපවූ බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 5533 ක් වැය කරමින් නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ ඉදිකරන ලද "නිල මැඳුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට පසුගිය 25 වැනිදා එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
ෙනිල මැඳුරෙ සංකීර්ණය අද දින විවෘත කිරීමට හැකි වුණා. 2014 වර්ෂයේ මෙම ගොඩනැගිල්ලේ පළමු අදියර නිම කිරීමට එවක රජයට හැකි වුණත්, මුදල් නොමැති වීම නිසා ඉතිරි කොටස ඉදිකිරීමට හැකි වුණේ නැහැ. 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අපි ආණ්ඩුවක් බිහි කළා. එහිදී බස්නාහිර පළාත තුළ මහා නගර ඇති කිරීම අපේ එක් ඉලක්කයක් වුණා. මහා නගර සියල්ල නවීකරණය කර සංවර්ධනය කිරීමත්, එකිනෙක සම්බන්ධ කිරීමත් අපේ සැලසුම්වලට ඇතුලත්ව තිබුණා. එම මහා නගරවල කොළඹ දිස්ත්‍රික් කාර්යාල හැටියට අප අද විවෘත කළ මෙම නිල මැඳුර හඳුන්වන්න පුළුවන්.
මීට පෙර කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ කොළඹ පමණක් නගරයක් ලෙස දක්වා තිබුණා. ඒ වගේම පසුව නුගේගොඩ කෝට්ටේ නගරයත් එයට එක් කළා. නමුත් වර්තමාන රජයේ මහා නගර වැඩපිළිවෙළ අනුව පළමු අදියර යටතේ හෝමාගම දක්වාත්, දෙවැනි අදියර මගින් අවිස්සාවේල්ල දක්වාත්, මහනගර සැලසුම්වලට ඇතුළත් කරනවා. එම මහා නගරවලට කළුතරින් හා ගම්පහයින් කොටසකුත් ඇතුළත් වනවා. නමුත් ඒ සියල්ලේම කේන්ද්‍රය කොළඹ බවට පත් කරනවා. ඒවගේම කොළඹ දිස්ත්‍රික්කය අලූත් නාගරික දිස්ත්‍රික්කයක් හැටියට මෙම ගොඩනැගිල්ලේ සිට පාලනය කිරීම සිදු වෙනවා.
මීට පෙර බොහෝ දිස්ත්‍රික්ක ග්‍රාමීය ප්‍රදේශ ලෙස පැවතුණා. නමුත් ඉදිරි වසර 10ත් 15 ත් තුළ මහනගර වැඩපිළිවෙළ හරහා නවීන නාගරික ප්‍රදේශ බිහි වෙනවා. ලෝකයේ නවීන නගරවල තිබෙන පහසුකම් මහානගර සඳහා ද ලැබෙන බව සඳහන් කරන්න කැමැතියි. මෙම ප්‍රදේශ තුළ අලූතින් ඉදිකිරීම් සිදුවෙනවා. රථවාහන තදබදයට විසදුම් ලෙස කුළුණු මත මාර්ග දෙකක් ඉදිකිරීමට සියලූ කටයුතු මේ වනවිටත් සූදානම් කර තිබෙනවා. ඉන් එකක් කැලණි පාලමේ සිට රාජගිරිය දක්වාත්, අනෙක් මාර්ගය වරාය දක්වාත් ඉදිකිරීම සිදුවනවා. විශේෂයෙන් ජනතාවගේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා සැහැල්ලූ දුම්රිය මාර්ගත්, ඒ සඳහා අවශ්‍ය කරන අලූත් ගොඩනැගිලිත් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. අලූත් නගරයක් බිහි කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු සිදු කිරීමේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හඳුන්වන්න පුළුවන්.
මෙම දිස්ත්‍රික් කාර්යාලය වාර්තා දෙකක් තබා තිබෙනවා. පළමුව මහා කොළඹනාගරික දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමත්, දෙවනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අලූත් භඣමියක් ලබාගැනීමත් පෙන්වා දෙන්න පුළුවන්.
මෙතෙක් කල් භඣමියක මායිම් වෙනස් කිරීමෙන් පමණක් අලූත් භූමියක් ලබාගත්තා. නමුත් ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් මුහුද ගොඩකර ඉදිකළ අක්කර 600 ක් වන වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළත් කර තිබෙනවා. මෙම දිස්ත්‍රික්කය යටතේ එය දියුණු වී තිබෙනවා. අලූත් දිස්ත්‍රික්කයකට අප ගමන් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා නිලධාරීන් සකස් කළ යුතුයි. නවීන ආර්ථිකයක් හිමි ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් ආණ්ඩුව මේ සියලූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා.
ලෝකයේ ප්‍රධානතම ආර්ථිකයක් බවට පත්වීමට අප ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත්විය යුතුයි. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත්වීමට එක් මහානගරයක් අවශ්‍ය වනවා. ඒ ඉලක්කය කුඩා නගරවලින් සපුරාගන්න බැහැ. ඒ මහානගරය අප අද මේ පළාත්වල ඉදිකිරීමට පියවර ගන්නවා.
මාලදිවයිනේ අගනුවර වන මාලේ පිහිටි දූපත් සියල්ල එකතු කරගෙන ඔවුන් අද වනවිට විශාල දියුණුවක් අත්කර ගෙන තිබෙනවා. අප ද ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත්වීමේදී ඒ ආකාරයේ දියුණුවක් ඇති කළ යුතුයි.
නවීකරණය සිදු කරන අතර තුර ඇතිවූ ප්‍රශ්නවලටත් පසුගිය කාලය තුළ අපට මුහුණදීමට සිදුවුණා. සංහිදියාව ඇති කිරීම, රටේ ණය ගෙවීමට හැකි ආර්ථික ශක්තිය ඇති කිරීම, ජී.එස්.පී. ප්ලස් ලබාගැනීම, ග්‍රාමීය සංවර්ධන ඇති කිරීම, අධ්‍යාපනය දියුණු කිරීම, සෞඛ්‍ය දියුණු කිරීම, මහාමාර්ග ඉදිකිරීම ඇතුළු සියල්ල සිදුකරමින් රට ස්ථාවර භාවයකට පත් කළා.
අපට අභියෝග ගණනාවකට මුහුණදීමට සිදු වුණා. ගංවතුර, නියඟ, නායයෑම්, කුණු කඳු කඩාවැටීම්, ව්‍යවස්ථා කුමන්ත්‍රණ වගේම මෑතකදී එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයටත් මුහුණදීමට සිදු වුණා. ඇතැමුන් මේ සියල්ලෙන්ම ආණ්ඩු බිඳවැටේ යැයි සිතුවා. අභියෝගවලට මුහුණදෙමින් ආණ්ඩුව ආරක්‍ෂා කර ගෙන සංවර්ධන වැඩකටයුතු ඉදිරියට කර ගෙන යෑමට අභියෝග හමුවේ වුවත් පියවර ගත්තා.
රට සංවර්ධනය කිරීමේ මූලික පියවර අපි ගෙන තිබෙනවා. රටේ සංහිදියාව ඇති කිරීමටත්, ආර්ථික ස්ථාවර භාවය ඇති කිරීමටත් පියවර ගත්තා. පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් අප්‍රේල් මාසය තුළ මන්දගාමී වූ ආර්ථිකය දිනෙන් දින යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාසය තුළ එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය අතට පත්වේවි.
රට සංවර්ධන කිරීමේ මූලික පියවර ගෙන අවසන් නිසා අනාගතය දෙස බලමින් රට නවීකරණය කිරීමට කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා මේ නවීකරණය අවශ්‍ය වනවා.
අප දැන් එම තත්ත්වයට හැරෙමින් තිබෙනවා. නැවත ආපස්සට යන්න බැහැ. තමන්ගේ ගම ස්වයංපෝෂිත කරමින් පමණක් ජීවත් වෙන්න බැහැ. ග්‍රාමීය ජනතාව අද විදේශ ගතව රැකියා කරනවා. අප ලෝකයට සම්බන්ධ වී තිබෙන බව සඳහන් කළ යුතුයි.
අපට අඩු වේතන ආර්ථිකයක් ලෙස ඉදිරියට යන්න බැහැ. මේ කලාපයේම වැඩිම වේතන අපට හිමිවෙනවා. තාක්‍ෂණය යොදාගෙන ඉදිරියට යායුතුව තිබෙනවා. දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපනය අපට හිමිව තිබීම තවත් එක් සාධකයක්. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමත්, අධ්‍යාපනය හැදෑරීමට පරිගණක ලබාදීමත් සඳහා අප පියවර ගත්තා. එසේ නවීන අධ්‍යාපනය ලබන මතු පරපුර අඩු වේතනයකට රැකියා කරන්නේ නැහැ.
දැන් අපිත් තාක්‍ෂණ තරගයට යා යුතුයි. ආර්ථිකය තරඟකාරී කිරීමට එම තාක්‍ෂණය යොදා ගත හැකි වෙනවා. දැන් අප සම්පූර්ණයෙන්ම නවීන අපනයන ආර්ථිකයකට යා යුතුයි. තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා අනු දහසකට මේ වනවිට අතිරික්තයක් තිබෙනවා. වසරින් වසර එම අගය ඉහළ යමින් පවතිනවා.
මීළඟ වසර 10 තුළ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය වෙනස්කම් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සමග මා සාකච්ඡා කළා. අක්කරයකට ලැබෙන වී ප්‍රමාණය වැඩි කිරීම, කන්න තුනම වගා කිරීම, වෙනත් භෝග වගා කිරීම සඳහා නව තාක්‍ෂණය යොදා ගන්න පුළුවන්.
පළමු වැනි ශීතකරණ සහිත සැකසුම් මධ්‍යස්ථානයක් අනුරාධපුරයේදී පසුගියදා මම විවෘත කළා. තවත් එවැනිම සැකසුම් මධ්‍යස්ථාන සියයක් දඹුල්ල, වැලිමඩ ඇතුළුව අනෙක් ප්‍රදේශවලත් ඇති කිරීම පිළිබඳ අපගේ අවධානය යොමුවී තිබෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් අවශ්‍ය පියවර අප ගන්නවා. මේ සියලූ ‍ක්ෂේත්‍රවල දියුණුව තුළින් අපනයන ආර්ථිකයකට ගමන් කිරීම සිදු වෙනවා.
අපනයන ආර්ථිකයක් සඳහා ගමන් කරන විට ගැටළු ඇති වෙනවා. ආයෝජකයින්ට ආයෝජනය කිරීම සඳහා ආණ්ඩුවෙන් අනුමැතීන් ලබාදීමේදී විශාල කාලයක් ගත වනවා. ඒ නිසා ආයෝජකයින් අධෛර්යමත් වෙනවා. ආයෝජන සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීම, යන්ත්‍ර සූත්‍ර ආනයනය කිරීම හා අනෙකුත් කටයුතු සලසා ගැනීමේදී වේගවත් සේවාවක් ආයෝජකයින්ට ලබාගත යුතුයි. ඒ වෙනුවෙන් පරිපාලනය තුළ දියුණුවක් ඇති කළ යුතු ආකාරය පිළිබඳව අලූතින් සිතන්න අවශ්‍යයි. දිස්ත්‍රික් කාර්යාල කේන්ද්‍ර බවට පත් කිරීමේදී පරිපාලන කටයුතු කාර්යක්‍ෂමව සිදුකිරීම වැදගත් වනවා.
එය අපහසු කාර්යයක් නොවේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ක් ඇති කිරීමේදී අවශ්‍ය අනුමැතීන් ඇතුළු අනෙක් වැඩකටයුතු සියල්ල සති හතරකින් අවසන් කළා. එම වකවානුව තුල කර්මාන්ත අමාත්‍යංශයේ සම්බන්ධීකරණ කටයුතු දිසාපති කාර්යාල මගින් සිදු කළා. අද සති හතරකින් ඒ වගේ අනුමැතීන් ලබාදෙන්න පුළුවන් ද? ඉඩම් ටිකවත් ලබාගන්න අමාරුයි. බියගම වෙළඳ කලාපය ඇති කිරීමේදී අවශ්‍ය ඉඩම් අත්පත් කරගෙන වසර තුනක කාලයකදී අවසන් කළා. වර්තමානයේදී ඉඩම් අත්පත් කරගැනීමට පමණක් වසර තුනක කාලයක් පමණ ගත වනවා.
1978 වසරේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කර 1990 වන විට ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කළා. අද වනවිට අලූතින් විදුලි බලාගාරයක් ඇති කිරීමට වසර 20 ක් පමණ ගත වනවා. ජලාශයක් ඇති කිරීමට අඩුම වශයෙන් වසර 10 ක් වත් ගත වනවා.
එම වේගය නැතිව ඉදිරියට යන්න බැහැ. තායිලන්තයේ මේ සියලූ කටයුතු වේගයෙන් සිදු කෙරෙනවා. රටේ නීතියට අනුව විනිවිදභාවය රැක ගනිමින් ඉක්මන් තීරණ ගැනීම චීනයේද සිදුවෙනවා. අපට අවශ්‍ය එම තීරණ ගැනීම දිස්ත්‍රික්කය තුළින්ම සිදු කරන්න පුළුවන්. දිසාපති කාර්යාලයෙන් හා ජාතික කේන්ද්‍රස්ථානයෙන් මේ කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදිය යුතුයි. දැන් අප දිස්ත්‍රික්ක සංවර්ධනයට අවශ්‍ය කරන ක්‍රියාශීලී කාර්යාල ක්‍රමයක් ඇති කළ යුතුයි. අපනයන ආර්ථිකයකට ශ්‍රී ලංකාව යොමු කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ රජය හා පෞද්ගලික අංශය තුළ ඇති කිරීමට පියවර ගත යුතුයි. අපනයන ආර්ථිකයක් ඇතිකිරීමේ පියවරක් වශයෙන් කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මූල්‍ය නගරයක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා.
ඩුබායි හා සිංගප්පූරුවේ සිදුවන ආකාරයට කොළඹ වරාය නගරය තුළ රටවල් දෙකක් අතර ගනුදෙනු සිදු වන විට අවශ්‍ය බදු සහන ලබාදීමට අප කටයුතු කරනවා. එය අපනයන ආර්ථිකයේ ප්‍රධාන කොටසක්. හම්බන්තොට සංවර්ධනය කිරීම වෙනුවෙන් රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව ඉදිරිපත් කර තිබෙනවා. හම්බන්තොට නිෂ්පාදනය ව්‍යාපාර ඇතිකිරීම සඳහා අක්කර 10000 ක් වෙන් කර තිබෙනවා. එවැනි විශාල නිෂ්පාදනයක් නොමැතිව වරාය කටයුතු සාර්ථකව සිදු කරන්න බැහැ. සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර, තොරතුරු තාක්‍ෂණ ආයතන ඇති කිරීම, උසස් අධ්‍යාපන ආයතන ඇති කිරීම, කෘතිම බුද්ධිය වැනි සියලූ දේ අපේ රටේ ඇති කළ යුතුයි.
රට ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිම පසුගිය කාලය තුළ අප සිදු කර තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමෙන් පමණක් නොනැවතී ප්‍රාදේශීය මට්ටමින් අලූත් ගොඩනැගිලි පහසුකම් ලබාදීම පිළිබඳව වජිර අබේවර්ධන ඇමැතිතුමාට මගේ ස්තඣතිය පුද කරනවා. එදා සහ අද වනවිට ලැබී තිබෙන පහසුකම් පිළිබඳව මා සිදු කළ සංචාරවලදී දැකගන්න ලැබුණා. මෙම පහසුකම් ලබාගැනීම සඳහා වජිර අබේවර්ධන ඇමැතිතුමා විශාල වෙහෙසක් දරා තිබෙනවා.
රටේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට මේ වසර කිහිපය තුළ එතුමා ගත් පියවරවල ප්‍රතිඵල ඉදිරි වසර කිහිපය තුළ ඔබට හිමිවන බව සඳහන් කරන්න කැමැතියි. දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වටිනාකම දැනගෙන එතැනින් මේ දියුණුව ඉදිරියට ගෙන යන්නට හැකි වෙනවා. රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල ඇමැතිතුමා සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව වාර්තා කරමින් රට පුරා විශාල වැඩකොටසක් සිදු කරනවා. ඒ වගේම හාරිස් ඇමැතිතුමා පිළිබඳවත් විශේෂයෙන් සඳහන් කරනවා. දක්‍ෂ රාජ්‍ය අමාත්‍යවරුන් සමග වජිර අබේවර්ධන ඇමැතිතුමා හා අමාත්‍යංශ නිලධාරීන් සිදු කරන සේවයට මා ස්තුතිවන්ත වෙනවා.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් ද, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මුජිබර් රහුමාන්, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ජනාධිපති ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, යන මහත්ම මහත්මීන් ද, විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වී සිටියහ.