මුදල් ගෙවා ක්‍රියාත්මක කරන පෙරපාසල් අධ්‍යාපනය වෙනුවට මෙරට සෑම දරු දැරියකුටම නොමිලේ පෙරපාසල් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනවා - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

ඉදිරියේදී ජනතාව ගන්නා තීන්දුව අනුව මුදල් ගෙවා ක්‍රියාත්මක කරන පෙරපාසල් අධ්‍යාපනය වෙනුවට මෙරට සෑම දරු දැරියකුටම නොමිලේ පෙරපාසල් අධ්‍යාපනය ලබාදීමට තමන් කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙරට පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය අවිධිමත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය විධිමත් කරමින් පෙරපාසල් දරුවන්ට මුදල් නොගෙවා නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමයක නියැලීමටත්, ඔවුන්ට දිවා ආහාර වේලක් ලබා දීමටත්, සියලු පහසුකම් වලින් සමන්විත පෙරපාසල් ඉදිකිරීමටත්, පෙරපාසල් ගුරුවරුන්ට වැටුප් ලබාදීමටත් තමන් කටයුතු කරන බවද සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙලද ඇතැමුන් විවේචනයට ලක් කරන්නට හැකි බව පැවසූ අමාත්‍යවරයා, රටේ සොරාකෑම වැඩි වී ඇති අතර එය සිදු කරන්නේ බලය හිමි ඇත්තන් විසින් බවත්, තමන් සොරා කනවාද, ගසා කනවාද කියා ආපසු හැරී හොඳින් සොයා බලන්නැයි තමන්ව විවේචනය කරන කුහකයින්ගෙන් ඉල්ලා සිටින බවත් මෙහිදී වැඩිදුරටත් පැවසීය.  
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාමය ප්‍රදේශයේ ඉදිකළ “කුමාරිසිතුපහන්ගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (28) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 227 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
“කුමාරිසිතුපහන්ගම” උදා ගම්මානය නිවාස 20 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 216 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.
ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 20 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 60 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 20 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 60 කට රුපියල් ලක්ෂ 120 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 25 ක් සඳහා රුපියල් ලක්ෂ 97 ක් වටිනා ‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 25 ක් වටිනා ප්‍රතිලාභ, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 72 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, විරුසුමිතුරු ණය, ස්වයං රැකියා ණය  සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීම, “සංචාරක පොඩ්ඩා” ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන් 24 දෙනෙකුට රුපියල් ලක්ෂ 120 වටිනා බදු රහිත ණය ප්‍රදානය, සංචාරක ජිප් රථ රියදුරන් 30 දෙනෙකුට 2019 වසරේ අප්‍රේල් මස සිට 2020 අප්‍රේල් මස දක්වා වසරක කල්බදු සහන ලබා දීම සහ පාසල් දරුවන් 12 කට රුපියල් 48,000/= ක් වටිනා පාසල් උපකරණ ලබාදීම ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විණී.  
එමෙන්ම අද (28) දින මුල්ගල තැබූ තිස්සමහාරාමය, උද්ධකන්දර ‘අතිපූජ්‍ය රණකෙලියේ ශ්‍රී රේවතගම’ සහ තිස්සමහාරාමය, විහාරමහාදේවීපුර ‘අතිපූජ්‍ය දෙනගම ධම්මදස්සිගම’ උදා ගම්මානවල නිවාසලාභීන් 48 දෙනා සඳහා නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.