දේශීය චිත්‍රපට කර්මාන්තය යළි ගොඩ නගන්නට නම් චිත්‍රපට කර්මාන්ත සහමුලින්ම දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි - සජිත් ප්‍රේමදාස

කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රහලේ පැවති 2019 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ‌‌මෙම අදහස් ප්‍රකාශ කළේය. 

මෙවර 19 වන වරට ජනාධිපති සිනමා සම්මාන උළෙල අභිමානවත් ලෙස පැවැත්වීමට හැකීවීම පිළිබදව මා බෙහෙවින් සතුටට පත් වනවා. මෙය යථාර්ථයක් කර ගැනීමට උර දුන් ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපතිනී හිතාදර අනූෂා ගෝකුල ප්‍රනාන්දු මැතිණියට සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ කාර්ය මණ්ඩලයට මා ස්තූතිය පුද කර සිටිනවා. මෙම කර්මාන්තය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටුකළ රංගන ශිල්පීන්, ශිල්පිනියන්ට වගේම මෙම කර්මාන්තයේ අනාගතය භාරගෙන සිටින නැගීඑන පරපුරටත් අප ස්තූත්වන්ත වනවා සේම ඔබ සියලුදෙනා පිළිබඳව අපගේ හදවතේ විශාල ගෞරවයක් තිබෙන බව සිනමා කර්මාන්තය උදෙසා සම්මාන ලබා දෙන මේ මොහොතේදී මා ප්‍රකාශ කරන්නට කැමතියි. අද දින රටේ සිනමාවේදීන්ගේ විශිෂ්ඨත්වය ඇගයීමට ලක්කරන මොහොතේදී අප සියලුදෙනාම සතුටු වනවා සේම මෙම කර්මාන්තයේ වර්තමාන තත්වය පිළිබඳව අප මොහොතකට හෝ දුක් විය යුතුයි.

මෙරට සිනමාවේ වත්මන් තත්වය පිළිබඳව අප හොද අවබෝධයක් ලබාගනිමින්, සැළසුම් සහගතව දේශීය සිනමාව ගොඩ නගන්නට අද කාලය එළැඹ ඇති බව මා විශ්වාස කරනවා. මෙම ක්ෂේත්‍රය මාගේ අමාත්‍යංශය යටතට ලැබුණු අවස්ථාවේදී මෙම ක්ෂේත්‍රයේ ඇති අවුල් සහගත තත්ත්වය පිළිබඳව අක්‍රමිකතා රැසක් මැද මෙම කර්මාන්තය යම් පහත වැටීමකට ලක්ව තිබූ මොහොතක මා දැඩිලෙස කණගාටුවකට පත්වුණා. දේශීය සිනමා කර්මාන්තය ඉදිරියට ගෙන යන්නට නම් සත්‍යවාදීව යථාර්තවාදීව මෙහි වර්තමාන තත්වය පිළිබඳ කරුණු කාරණාවන් අප අවබෝධ කරගත යුතුයි.

මෙරට සිනමා කර්මාන්තයේ ස්වර්ණමය යුගය නිර්මාණය වුනේ 70, 80 දශකවලදී බව අප හැමෝම දන්නවා. දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ උත්සහය නිසා එදා ජාතික චිත්‍රපට සංස්ථාව නිර්මාණය කර මෙම කර්මාන්තය ශක්තිමත් කර එය නිවැරදි මඟපෙන්වීමකට ලක්කළා. නමුත් 2001 වසරේදී සිදුවු සිද්ධීන් තුළ චිත්‍රපට බෙදාහැරීම පුද්ගලික අංශයට ලබා දීම නිසා 2019 වන විට රටේ සිනමා කර්මාන්තය ඛේදනීය තත්වයකට ඇද වැටී තිබෙනවා. මෙරට සිනමාව වැටී ඇති තත්වයෙන් ගොඩ එන්නේ කෙසේද කියා අප හොඳින් අවබෝධ කර ගත යුතුයි.  සංඛ්‍යාත්මක වශයෙන් බලන විට මෙම කාලය තුළ දේශීය චිත්‍රපට පෙන්වන සිනමා ශාලා පමණක් 70 කට අධික ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා.

දේශීය චිත්‍රපට කර්මාන්තයේ පහළ වැටීම සමඟ ආනයනික චිත්‍රපට විශේෂයෙන්ම ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් කැලෑ නීනියක් නිර්මාණය වී ඇති බව කණගාටුවෙන් හෝ අප පැවසිය යුතුයි. නෛතික රාමුවෙන් බැහැරව විවිධ බලවතුන්ගේ ඇගිලි ගැසීම් දේශීය විදේශීය බලපෑම් තුළ ඉතාම සුළුතර කණ්ඩායමක් මෙම ක්ෂේත්‍රය තුළ ඒකාධිපති රංගනයක් ක්‍රියාත්මක කරමින් සිනමා ක්ෂේත්‍රයේ නියාමන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ඉතාම අපහසු තත්වයකට ගෙනවිත් තිබෙනවා. ඔබ සියලුදෙනාම දන්නවා, අද ඩේලි රිපෝට්ස් ලියවෙන්නේ නෑ. හිතුමතයට ටිකට්වල අගය ඉහළ දමන්නට ඒකපුද්ගලිකව කටයුතු කරනවා. තමන්ට රිසි පරිදි කටයුතු කරන සිනමා ශාලාවලට පමණක් චිත්‍රපට බෙදා හාරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනවා. ප්‍රේක්ෂක අයිතිය ප්‍රේක්ෂක ඉල්ලුම පැත්තකට විසිකර දමා අනෙක් සිනමා ශාලාවලට චිත්‍රපට ලබාදීම නතර කොට තිබෙනවා. රේගු නීති කඩ කර, රජයේ බදු මුදල් පැහැර හැර, ජාතික චිත්‍රපට සංස්ථාවට අයවිය යුතු මුදල් නොගෙවා, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ගෙවිය යුතු සියලු අයවීම් ඉතාම ක්‍රමානුකූලව විදේශීය සැපයුම්කරුවන්ට අවිධිමත් ලෙස ගෙවීම තුළ රටේ නීති රීති පද්ධතිය උල්ලංඝනය කිරීමකට ලක් වී තිබෙනවා. ඇතැම් ආනයනකරුවන්ගේ ප්‍රාණ ඇප කරුවන් බවට සිනමා ශාලා පත්ව තිබෙනවා. ඇතැම් සිනමා ශාලා ටිකට්වලින් ලබන ආදායමින් 75 % ක් මුදලක් බෙදා හරින සමාගමට ලබාදෙනවා. මෙම නීති විරෝධී ක්‍රමවේදය නිවැරදි කරන්නටත්, ඒ වගේම චිත්‍රපට කර්මාන්තය නිර්දේශපාලනීකරණයට ලක් කිරීමටත් දක්ෂ පක්ෂ හපන්කම් තිබෙන හොඳ රාජ්‍ය නිළධාරිනියක් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරයට පත්කර, නීතිවිරෝධී එම ක්‍රමවේදය වෙනුවට ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත් වී සම්මත ආදායම් බෙදා හැරීමේ වැඩපිළිළෙක් අප නිර්මාණය කර තිබෙනවා. මා මේ පෙන්වා දුන් කරුණු කාරණා බහුතරයක් ඔබ සියලුදෙනාම හොඳින් දන්නා ඒවා. මේවා කිසිම කෙනෙකුට රහසක් නොවෙයි.

මෙම අසුභවාදී තත්වය වෙනස් කරන්නට ජාතික චිත්‍රපට සංස්ථාව නවීකරණය කරමින් රට සහ දේශීය චිත්‍රපට කර්මාන්තය ගැන අළුත් විදිහට සිතා නව ක්‍රමවේද රැසක් ආරම්භ කරන්නට අප කටයුතු යොදමින් සිටිනවා. චිත්‍රපට බෙදාහැරීමේදී මණ්ඩලවලට මුදල් ගෙවීමකින් තොරව ඥාති හිතමිතුරු සංග්‍රහයකින් තොරව එම කටයුතු දියත් කිරීමට අප සැළසුම් සකස් කරනවා. තිර පිටපත් බැංකුවක් ඇති කර ශ්‍රී ලාංකේය සංස්කෘතිය ආරක්ෂා කරමින් චිත්‍රපට නිපදවන්නට වැඩපිළිවෙලක් නිර්මාණය කර තිබෙනවා. නව නිෂ්පාදනකරුවන් සිනමා කර්මාන්තයට ප්‍රවිශ්ට වීමට ගුණාත්මක නිර්මාණ එළිදැක්වීමට අවශ්‍ය සිනමා ශාලා නිර්මාණය කිරීම යනාදී වශයෙන් මෙම කර්මාන්තය ගොඩ නගන්නට අවැසි ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා.

2001 වසර වන විට රටේ සිනමා ශාලා 400 ක් පමණ තිබුණා. කණගාටුවට කරුණ වන්නේ වසර 18 කට පසුව අද වන විට එය 191 ක් දක්වා අඩු වී තිබීමයි. දේශීය චිත්‍රපට කර්මාන්තය යළි ගොඩ නගන්නට නම් චිත්‍රපට කර්මාන්ත සහමුලින්ම දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. ඒ සඳහා මා ඔබට ප්‍රතිඥාවක් ලබා දෙනවා. මා සතුටින් කියන්නට කැමතියි, දේශපාලන භේදයකින් තොරව  ඉදිරි දැක්මක් ඇති නිර්දේශපාලනීකරණයට ලක්වුණු අධ්‍යක්ෂක මණ්ඩලයක් හරහා ජාතික චිත්‍රපට සංස්ථාව අද අළුත් ගමනක් යන බව. මෙම අළුත් ගමන යනවිට ධන බලය, විවිධ සම්බන්ධතා, දේශීය විදේශීය බලපෑම් රැසකට අපට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා. නමුත් කිසිම කෙනෙකුට බිය වන්නට අවශ්‍ය නැහැ. කුමන හේතුවක් නිසාවත් මා මෙම අමාත්‍යංශයේ වගකීම දරන තාක්කල් කිසිදු බලපෑමකට යටත් නොවන බව ප්‍රසිද්ධියේ මා ප්‍රකාශ කරනවා.

දේශීය සිනමා කර්මාන්තය ශක්තිමත් කිරීමට කටයුතු කරන විට, මෙම කර්මාන්තය අප විනාශ කිරීමට උත්සහ කරනවා කියා ඇතැම් අය චෝදනා කරනවා. අප කිසිම විටක එසේ  කරන්නේ නැහැ. චිත්‍රපට  කර්මාන්තයේ ප්‍රගතියක් ලබා ගන්නට නම් පෞද්ගලික ව්‍යවසායකත්වය, විවෘත ආර්ථිකය සහ රාජ්‍ය මැදිහත්වීම හා නියාමනය යන සියල්ලෙහිම මිශ්‍ර ක්‍රමවේදයක් අප ඇති කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. කුමන හේතුවක් යටතේ හෝ එක් අයෙකුගේ දෙන්නෙකුගේ අවශ්‍යතා මත ධන බලයට, දේශපාලනයට කිසිවිටක අප යට වන්නේ නැහැ. මෙම කර්මාන්තය ගොඩ නගන්නට නම් කිසිම කෙනෙකුගේ රූකඩයක් බවට පත් නොවිය යුතුයි කියා අප හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. රූකඩ කලාව, කලාවක් ලෙස අප සංරක්ෂණය කරනවා. නමුත් අභ්‍යන්තර හෝ බාහිර බලවේගවල රූකඩයක් බවට අප අමාත්‍යංශය කිසිවිටක පත් නොවන බවට මා සහතික වනවා.

වර්තමානයේ සිනමා කර්මාන්තයට ලැබෙන උත්තේජනය ප්‍රමාණවත්ද කියා මෙම කර්මාන්තයේ කොටස්කරුවන් වන අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන්, රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් සහ සිනමාශාලා අයිතිකරුවන් යන අයගෙන් ප්‍රශ්නයක් ඇසුවොත්, එය ප්‍රමාණවත් නොවන බව මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. වර්තමානයට වඩා වෙනස් සක්‍රීය දායකත්වයක් රටේ සිනමාව උදෙසා ලබා දෙන්නට අප අදහස් කරගෙන තිබෙනවා. රජයක් ලෙස අප පැත්තකට වී ඉල්ලුම හා සැපයුම මත චිත්‍රපට කර්මාන්තය දියුණු කරන්නට බලාගෙන සිටීමෙන් ළුලක් වන්නේ නැහැ. නව ලිබරල්වාදී ඉල්ලුම සැපයුම හරහා සිනමා කර්මාන්තය දියුණු කරන්නට බැහැ. ඒ සඳහා පෞද්ගලික ව්‍යවසායකත්වය තුළ හොඳ රාජ්‍ය මැදිහත්වීමක් සිදු විය යුතුයි. එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට, නිෂ්පාදකවරුන්ට සෘජු උත්තේජනයක් අප ලබා දිය යුතු යුතුයි. ගුණාත්මක චිත්‍රපට නිපදවීම උදෙසා බදු සහන අප ලබා දිය යුතුයි. සිනමා ශාලා නවීකරණයට මූල්‍ය සහන ලබාදී මෙරට සිනමාශාලා ගොඩනැගිය යුතුයි. නවීන පන්නයේ සිනමාශාලා රට තුළ ගොඩ නැගිය යුතුයි. රංගන ශිල්පීන් සඳහා සෘජු රාජ්‍ය මැදිහත් වීමක් සිදු විය යුතුයි. වර්තමානයේ සිනමාකරුවන් සඳහා ලබා දෙන මූල්‍ය පහසුකම් කිසිවිටක ප්‍රමාණවත් නොමැති බව මා පිළිගන්නවා. ඉදිරියේදී සිනමා ක්ෂේත්‍රයට සෘජු සක්‍රීය රාජ්‍ය මැදිහත්වීමක් ලබාදී ඒ හරහා ලැබෙන මූල්‍ය ශක්තිය මත දේශීය සිනමාව ගොඩනගනවාමයි කියා මා මේ මොහොතේදී පොරොන්දු වනවා.

එසේම ‘මතින් තොර රටක්’ යන තේමාව යටතේ සිනමා ශාලාවන් සඳහා මත්පැන් බලපත්‍ර ලබා නොදීමටත් අප තීන්දුවක් ගෙන තිබෙනවා. අප කිසි විටක සිනමා ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබා දෙන්නේ නැහැ. ශ්‍රීමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා වෙනුවෙන් අප්‍රේල් මස 5 වනදා ‘ජාතික සිනමා දිනය’ ලෙස අප නම් කළා. එතුමාට කරන උපහාරයක් ලෙස ජාතික සිනමා දිනය සේම ජනාධිපති සිනමා සම්මාන උළෙල පවත්වන දිනයත් අප්‍රේල් මස 5 වනදා ලෙස අප නම් කිරීමට කටයුතු කරන බව සතුටින් යුතුව මා මතක් කරන්නට කැමතියි.