මහින්දානන්දට සහ සතොස හිටපු සභාපතිට අධිචෝදනා

පසු ගිය ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා කැරම් බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර බෙදාහැරීමෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හා සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඊයේ (26) අධිචෝදනා පත්‍ර භාරදෙන ලදී.
අධිකරණ සිතාසි මත (26) ත්‍රිපුද්ගල මහාධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත මුදා හැරීමට විනිසුරු මඬුල්ල නියෝග කළහ. ආර්. ගුරුසිංහ (සභාපති), ශෂී මහේන්ද්‍රන් හා අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාගයට ගැනේ.
විත්තිකරුවනගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියෝග කළ විනිසුරු මඬුල්ල නඩුව යළි අගෝස්තු මස 30 කැඳවීමට නියෝග කළේය.
2014 සැප්තැම්බර් 01 වැනිදා හා එම වසරේ දෙසැම්බර් 31 අතර කාලයේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කළ කැරම් බෝඩ් 14000ක් හා දාම් ලෑලි එකොළොස්දහසක් දේශපාලන ක්‍රියාකාරකම් හරහා බෙදා දෙමින් රජයට රුපියල් මිලියන 53ක් පාඩු කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අධිචෝදනා 06ක් යටතේ විත්තිකරුවනට එරෙහිව මේ නඩුව පවරා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා පනතේ 70 වගන්තිය යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නඟා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නියෝජ්‍ය අධ්‍යක්ෂ නීති ගංගා හෙයියන්තුඩුව මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.