හෙපටයිටිස් දිනය අදයි - 2030 වන විට හෙපටයිටීස් ලෝකයෙන් තුරන් කිරීමට කටයුතු

සෑම වසරකම ජූලි 28 වන දින ලෝක හෙපටයිටිස් දිනය ලෙස නම්කර ඇත.
බොහෝ රටවල හෙපටයිටිස් රෝගය මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරමින් පවතී. අප රට තුළද හෙපටයිටීස් රෝගය මැඩපැවැත්වීම සදහා මෙන්ම හෙපටයිටීස් පිළිබදව ජනතාවට මනා අවබෝධයක් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් විසින් විවිධ ක්‍රියා මාර්ග ගෙන ඇත.
හෙපටයිටීස් යනු වෛරස් එකක් වන අතර එමගින් අක්මාවට හානි පැමිණවීමේ හැකියාවක් පවතී. එම රෝගය වැළදුණු පසු බොහෝ පුද්ගලයන් හට මුලදී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. පසුව පෙන්වන රෝග ලක්ෂණ වනුයේ ඇස් කහ වීම, බඩේ කැක්කුම, වමනය ඇති වීම, කෑම අරුචිය සහ උණ වැළදීමයි. බොහෝ විට හෙපටයිටිස් ඒ සහ ඊ වෛරස් දෙක මගින් ඇති වන රෝග බෙහෙත් නොමැතිව සුව වන අතර ඇතැම් පුද්ගලයන් සදහා මාරාන්තික තත්ත්වයට පත්වී මරණය පවා ඇතිවිය හැකිය.
හෙපටයිටිස් ඒ සහ ඊ ආහාර සහ ජලය මගින් බෝ විය හැකි අතර එය එතරම් දරුණු තත්ත්වයක් නොවෙයි. එම රෝගය මාරාන්තික වීම සදහා පවතින්නේ 0.5% ක අවස්ථාවකි. එලෙස රෝගය මාරාන්තික වුවහොත් අක්මාව සම්පූර්ණයෙන් නරක්වී මරණය පවා සිදුවිය හැකිය. නමුත් සාමාන්‍යයෙන් හෙපටයිටීස් ඒ සහ ඊ සති ගණනක් තුළ සුව වීමේ හැකියාවක් පවතී.
ප්‍රතිදේහ පරීක්ෂාවක් මගින් රෝගය සොයාගත හැකි අතර හෙපටයිටීස් ඒ අයි.ජී.එන් සහ හෙපටයිටීස් ඊ අයි.ජී.එන් පරීක්ෂාවන් ඒ සදහා සිදුකරනු ලබයි. මෙම පරීක්ෂාවන් දෙක රජයේ සහ පෞද්ගලික රෝහල් වලින් සිදුකරගත හැකි අතර පෞද්ගලික රෝහල් වල මේ සදහා විශාල මුදලක් වැයවන අතර රජයේ රෝහල් වලදී මෙය නොමිලේ සිදුකරගත හැකිය. රටපුරා බොහෝ රජයේ රෝහල් වල මෙම පරීක්ෂාව සිදුකර ගැනීමේ හැකියාව පවතින අතර එසේ නොමැති රෝහල් වල රෝගීන් හට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් අදාල පරීක්ෂණ සිදුකරගත හැකිය. ඉන් පසු පරීක්ෂණ වාර්තාව දින කිහිපයක් තුළ ලබාගැනීමේ හැකියාවක්ද පවතී.
හෙපටයිටීස් ඒ සහ ඊ සදහා ප්‍රතිකාර වශයෙන් විශේෂ වූ ඖෂධ නොමැති අතර මෙහිදී රෝගියාගේ රෝග ලක්ෂණ සදහා ප්‍රතිකාර කිරීමක් සිදුකරයි. මෙහිදී ඇන්ටි වෛරල් ලබාදීමක් සිදු නොකරන අතර උණ පවතී නම් පැරසිටිමෝල් ද වමනය පවතී නම් ඊට අදාල ඖෂධ ද ලබාදෙනු ලබයි. මෙහිදී විහේෂයෙන් වැදගත් වන්නේ රෝගියා හට අනවශ්‍ය පරිදි බෙහෙත් ලබා නොදීමයි. එයට හේතු වන්නේ අක්මාවට බෙහෙත් මගින් හානි පැමිණිය හැකි බැවිනි. බොහෝ රෝගීන්ට රෝහල්ගත නොවී නිවසේ සිටම ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය සුවපත් කරගැනීමේ හැකියාවක් පවතී.
හෙපටයිටීස් ඒ සදහා එන්නත් පවතින අතර එය ලබාගත් පසු නැවත වසර 6ත් 8ත් අතර කාලයකට ශක්තියක් එසේත් නැතිනම් රෝගය වැළදීමෙන් මිදීමේ හැකියාවක් පවතී. හෙපටයිටීස් ඊ සදහාද එන්නත් පවතින අතර හොද සනීපාරක්ෂක ක්‍රම භාවිතා කිරීම මගින් රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ හැකියාවක් පවතී. මෙහිදී හොද සනීපාරක්ෂක ක්‍රම වශයෙන් එළිමහනේ මළපහ නොකර වැසිකිළි භාවිතා කිරීම, උණු කරන ලද පිරිසිදු පානීය ජලය පානය කිරීම, රෝගීන්ගේ තුවා, කෑම පිගන් ආදී පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ පොදුවේ භාවිතා නොකිරීම දැක්විය හැකිය. එසේ කිරීම මගින් පවුලේ සහ අවට සිටින අයට රෝගය බෝ වීම වළක්වාගත හැකිය. ඒ අනූව නිවැරදි සනීපාරක්ෂක ක්‍රම භාවිතා කිරීම මගින් හෙපටයිටීස් ඒ සහ ඊ සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කිරීමේ හැකියාවක් පවතී.
ලෝක සෞඛ්‍ය සංවිධානය 2013 වසරේ සිට ප්‍රකාශ කර සිටින්නේ හෙපටයිටීස් බී සහ සී විශාල ප්‍රශ්නයක් බවයි. මෙය එච්.අයි.වී. වැනි මාරාන්තික රෝග තත්ත්වයක් බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි. අක්මාව යනු මිනිසුන්ට ජීවත් වීමට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් වන අතර එය සම්පූර්ණයෙන්ම ලෙඩ කිරීමේ හැකියාවක් මෙම රොගය සතුව පවතී. නිසි පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගතහොත් මෙම රෝගයද තුරන් කිරීමේ හැකියාවක් පවතී.
ලෝක සෞඛ්‍ය සංවිදානය හෙපටයිටීස් රෝගය 2030 වන විට ලොවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සදහා 2013 වසරේදී තීරණයකට එළඹ ඇත. මෙම වෛරසය ශරීරගත වූවන් මිලියන 325ක් එනම් ඇමරිකාවේ ජනගහනයට ආසන්න ප්‍රමාණයක් ලෝකයේ සිටින අතර ඉන් මිලියන 290ක්ම මෙම වෛරසය ශරීරගත වී ඇති බව නොදනී. ඒ අනූව සැගවුනු රෝගයක් සෙවීමේ අරමුණ තේමා කරගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනුවෙන් කර්තව්‍යයන් රාශියක් සිදුකරයි. මෙම වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට කටයුතු කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටින අතර මෙම රෝගය පරීක්සාවන් මගින් හදුනාගෙන රෝගය වැළදී ඇත්නම් නිසි ප්‍රතිකාර ගැනීමෙන් එය සුවකර ගනිමින් රෝගය ලොවෙන්
තුරන් කිරීමට සහාය දක්වන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම රෝගය 2030 දී ලෝකයෙන් තුරන් කිරීමට වසරකට බිලියන 6 ක මුදලක් අවශ්‍ය වන බවත්, 2016දී මේ සදහා වියදම් කිරීමට හැකි වූයේ බිලියන 0.5ක් බවත් පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් කියා සිටින්නේ මෙය විහාල අභියෝගයක් නමුත් සිදුකල හැකි දෙයක් බවයි.
විශේෂයෙන්ම වැසි සහිත කාල වලදී එළිමහනේ මළපහ කිරීම සහ නිසි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම මගින් මෙන්ම ගංවතුරකින් පසුවද මෙම රෝගය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතී.
අක්මාවේ ප්‍රදාහයක් හටගෙන එය මාස 6ක් අඛණ්ඩව පවතී නම් ට්‍රොනික් හෙපටයිටීස් තත්ත්වයක් වශයෙන් එය හැදින්වේ. ට්‍රොනික් හෙපටයිටීස් සෑදෙන ප්‍රධාන විශබීජ වනුයේ හෙපටයිටීස් බී සහ හෙපටයිටීස් සී වෛරසයි. ට්‍රොනික් වෛරල් හෙපටයිටීස් සදහා නිසි ප්‍රතිකාර ලබා නොගත හොත් මෙය ජීවිතාන්තය දක්වා යාමේ අවදානමක් පවතී. එහිදී ප්‍රදාහය දිගින් දිගමට පැවතිය හොත් ශිරෝසිස් තත්ත්වයක් ඇතිවිය හැකි අතර අක්මාවේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයද අඩපණ විය හැකිය. අක්මාව අක්‍රිය වීම මෙන්ම ශිරෝසිස් රෝගය පවතින කෙනෙකු නම් ඔහුට අක්මාවේ පිළිකා තත්ත්වයක්ද ඇතිවිය හැකිය. මෙය බරපතල ගැටලුවක් වන අතර මෙවැනි ප්‍රශ්න
මතු වුවහොත් රජයට විශාල වියදමක්ද දැරීමට ද සිදුවනු ඇත. හෙපටයිටීස් බී ජීවිත කාලයේම සිරුරේ පැවතිය හැකි වෛරස් විශබීජයක් වන අතර අය කාලයක් ශරීරගතව පැවතීම අක්මාවට හානිකර තත්ත්වයකි. මේ සදහා වර්තමානයේ 100%ක් සාර්ථක ඖෂධ නොමැති වුවද 100%ක් මෙය මැඩපැවැත්විය හැකි එන්නතක් පවතී. එම නිසා අපේ රටේ මෙන්ම ලොව
සෑම රටකම මෙම තත්ත්වයෙන් මිදීමේ හොදම පියවර වන්නේ හෙපටයිටීස් බී සදහා ගොදුරු වියහැකි පුද්ගලයින්ට ප්‍රතිශක්තීකරණය එන්නත් මගින් ලබාදීමයි. එමෙන්ද හෙපටයිටීස් සී මගින්ද අක්මාවට මෙම ප්‍රතිවිපාක අත්විය හැකි අතර මෑත වසර 10ක කාලය තුළදී හෙපටයිටීස් සී සදහා හොද ඖෂධ වර්ග සොයාගෙන ඇත. එම බෙහෙත් වර්ග නිසි පරිදි භාවිතා කිරීම මගින් මෙම රෝගය 95%ක් සුවකර ගැනීමේ හැකියාවක් පවතී. මේ හේතුවෙන් අනාගතයේදී හෙපටයිටීස් දිනය හෙපටයිටීස් බී වලට පමණක් සීමාවිය හැකිය.
හෙපටයිටීස් බී රුධිරය මගින් සහ ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි අතර වැරදි ලිංගික පුරුදු ඇති පුද්ගලයින් රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතී. නිරන්තරයෙන් රුධිරය ලබාදෙන තැලිසීමියා රෝගීන් වැනි රෝගීන් හටද රෝගය වැළදීමේ අවදානමක් ඇතත් ලංකාව වැනි රටකට එය ගැටලුවක් නොවන්නේ අදාල රෝගීන් හට රුධිරය ලබාදීමට පෙර විශබීජ නොමැති බවට පරීක්ෂාවන් සිදුකර 100%ක් එය තහවුරු කර ලබාදීම නිසාවෙනි.
හෙපටයිටීස් බී බොහෝ විට ලිංගික මාර්ගයෙන්ද හෙපටයිටීස් සී බොහෝ විට කුඩු ආදී මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම මගින්ද පැතිරීම සිදුවේ. ශ්‍රී ලංකාවේ කුඩු භාවිතයක් තිබුණත් සාපේක්ෂව එවැනි මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමේ ප්‍රතිශතය ඉතාම අඩු අගයකි. බී විශබීජය ඇතුල් වූවන් ලෝකය තුළ බිලියන දෙකක් වෙසෙන අතර ලංකාවේ සිදුකල පරීක්ෂණයක් අනූව එවැනි පුද්ගලයින් 0.1%ත් 0.2%ත් අතර ප්‍රමාණයක් මෙරට වෙසෙතැයි වාර්තාවේ.
නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීම තුළින් මෙම හෙපටයිටීස් වෛරසය ලෝකයෙන් තුරන් කල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි.