මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනපති ගත් තීන්දුවට පක්ෂව ජන හඬක්

ජාතියේ අනාගත පරපුර විනාශ කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීන්දුවට පක්ෂව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පුළුල් ජන හඬක් මතුව තිබේ.
මෙම දිනවල අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත ජනාධිපති කාර්යාලයේ විශේෂ කුටියේ දී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මේ පිළිබඳ ජනතා මතය උරගා බැලීමක් සිදුවන අතර ප්‍රදර්ශන භූමිය වෙත පැමිණෙන ජනතාවගෙන් ඒ සඳහා හිමිව ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි.
මේ වන විට ප්‍රකාශ වී ඇති ජන මතය අනුව සියයට අනූ පහක්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව සිය මතය ප්‍රකාශයට පත් කර තිබේ.
ආගමික නායකයන්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම විවිධ වෘත්තිකයන් සහ පොදු ජනතාව විශාල පිරිසක් දිනපතා ප්‍රදර්ශන භූමිය වෙත පැමිණෙන අතර ඔවුන් සියලුදෙනාගේ විශේෂ අවධානයක් මෙම වැඩසටහන වෙනුවෙන් යොමුව තිබීම විශේෂත්වයකි.
ජනතා සුබසෙත වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ග්‍රාමශක්ති, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ, වකුගඩු රෝග නිවාරණ, ජාතික ආහාර නිෂ්පාදන, පරිසර සංරක්ෂණ, දරුවන් සුරකිමු, රට වෙනුවෙන් එකට සිටිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා, කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන ඇතුළු ජාතික වැඩසටහන් මඟින් සිදු කෙරෙන පුළුල් ජනතා මෙහෙවර පිළිබඳ දැනුවත් කිරීම සහ තොරතුරු ලබාදීම මෙහි දී සිදු කෙරේ.
එමෙන් ම ජනතාවගේ ගැටලු ජනාධිපතිතුමාට ඝෘජුව ඉදිරිපත් කළ හැකි ජනපතිට කියන්න වැඩසටහන ද මෙහි ක්‍රියාත්මකය.