සන්ධානගත පක්ෂ එකතුවට පොහොට්ටුවේ විරෝධයක්

පොදු ජන පෙරමුණ පසුගිය සිකුරාදා (26) ඉතා කුඩා සුළු පක්ෂ සමඟ සන්ධානගත වීම පිළිබඳව එම පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජනය සහිත පක්ෂ නායකයන් විරෝධය පළ කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සිළුමි ට පැවසීය. මේ හේතුව නිසාම සුළු පක්ෂ සමඟ සන්ධාන ගත වීමේ ගිවිසුම් අත්සන් කෙරුණු පසුගිය සිකුරාදා උත්සව අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ වැනි ප්‍රමුඛ පෙලේ නායකයින් සහභාගී නොවීමට තීරණය කර තිබුණි.
ප්‍රධාන නිලතල දරන්නන්ට සහ ඉතා කුඩා සාමාජික සංඛ්‍යාවකට සීමා වූ මෙම පක්ෂ වෙත ඉදිරි මැතිවරණවලදී අපෙක්ෂකත්ව කෝටාව ලබා දීමට පොදු ජන පෙරමුණු නායකයින් විසින් කරගෙන ඇති එකඟතා පිළිබඳව මහජන එක්සත් පෙරමුණ, නව සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ , පිවිතුරු හෙළ උරුමය වැනි පක්ෂ වෙත අසාධාරණයක් සිදුවන බව මෙම පක්ෂ නියෝජිතයින් පසුගිය දිනවල පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස් , හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු ප්‍රබලයින් වෙත ඉඟි කර තිබුණි.
මෙම කරුණු අනාවරණය කළ පොදු ජන පෙරමුණු නියෝජිතයා මෙම කුඩා පක්ෂ නම් කලේ ඉතා කුඩා එනම් මයික්‍රෝ පක්ෂ ලෙස බව කීවේය. එසේ වුවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් පසුගිය දින ගණනාවක්ම සුළු පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට පොදු ජන පෙරමුණ පුළුල් කිරීමට කටයුතු කර තිබේ. එහිදී ඇතැම් පක්ෂ නියෝජිතයන්ට ඉදිරි මැතිවරණවලදී කණ්ඩායම් ලැයිස්තුවට නාම යෝජනා ඇතුළත් කිරීමේ අවස්ථාවද හිමි කර දී ඇති අතර එයින් මෙතෙක් කැපවීමෙන් ක්‍රියා කළ සෙසු පක්ෂවලට අසාධාරණයක් වන බව ඔවුන් පෙන්වා දී තිබේ. කෙසේ වුවද ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණද නව පුළුල් සන්ධානයක් සඳහා ඒකරාශී වීමට පෙර මෙම සුළු පක්ෂ 10ක් සමඟ ගිවිසුම් ගත වූයේ ඡන්ද දායකයන් රැවටීමේ මනෝමූල මෙහෙයුමකට බවපොදු ජන පෙරමුණු ප්‍රකාශකයා සඳහන් කළේය.