අප නිවාස අමාත්‍යංශය භාර ගන්නා විට රටේ නිවාස අවශ්‍යතාව පිළිබඳව තොරතුරු කිසිවක් නිවාස අමාත්‍යංශය දැනගෙන සිටියේ නැහැ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත කවටයාමානේ ඉදිවූ "ජයලත්ගම" උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් ඉදිරිපත් කළේය. තව දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
අද වන විට රට පුරාම ශීඝ්‍රගාමී නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම නිවාස වැඩසටහන අප ආරම්භ කළේ 2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුවයි. යහපාලන රජය බලයට පත්වී අප නිවාස අමාත්‍යංශය භාර ගන්නා විට රටේ නිවාස අවශ්‍යතාව පිළිබඳව තොරතුරු කිසිවක් නිවාස අමාත්‍යංශය දැනගෙන සිටියේ නැහැ. එම නිසා අපි පළමු වසර 1 ½  තුළ රටේ නිවාස අවශ්‍යතාව පිළිබඳව දිවයින පුරා සංගණනයක්සිදු කළා. එහිදී අනාවරණය වුණේ රටේ පවුල් ලක්ෂ 61 න් පවුල් ලක්ෂ 25 කටම නිවාස ප්‍රශ්න ඇති බවයි. එම පවුල් සඳහා වසර 2025 වන විට ‘සැමට සෙවණ’ ලබා දෙන්නට අප අධිෂ්ඨානය කර ගත්තේ ඒ අනුවයි.
මෙම ගම්මානය ඉදි කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ හඟුරන්කෙත ආසනයේ සංවිධායක ජයලත් දිසානායක මැතිතුමායි. ඒ පිළිබඳව මා එතුමාට විශේෂ ස්තූතිය පුද කර සිටිනවා. ඊයේ එතුමාගේ ඡන්ම දිනය යෙදී තිබුණා. එතුමාට සුබ උපන් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරන ගමන්ම නිවාස 50 කින් යුතු මෙම උදා ගම්මානය “ජයලත්ගම” ලෙස නම් කර ජනතා අයිතියට පත් කොට එතුමට දිය හැකි ලොකුම උපන් දින ත්‍යාගය අප ලබා දුන් බව මා ප්‍රකාශ කරනවා. ඔහු ඉතා කැපවීමෙන් වැඩ කරන දක්ෂ තරුණ සංවිධායකවරයෙක්. තවත් ශක්තිමත්ව වැඩ කටයුතු කරන්නට එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන්ම මෙවර එතුමාව පාර්ලිමේන්තුවටම රැගෙන යනවා කියා මා ප්‍රකාශ කරනවා.
අපේ රටට ඉතා නිර්මල සේවාවක් ඉටු කළ නායකයෙක් දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා. එතුමාගේ පුත් නවීන් දිසානායක මැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙමින්, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් රට පුරා විශාල සේවාවක් සිදු කරනවා. එතුමා සමඟින් අත්වැල් බැදගෙන ජයලත් දිසානායක මැතිතුමාත්, රටේ කීර්තිමත් ඇමතිවරියක් වූ රේණුකා හේරත් මැතිණියගේ දියණියත් අද මෙම ප්‍රදේශයට විශාල සේවාවක් සිදු කරනවා. එතුමියත් ඉක්මනින් පාර්ලිමේන්තු මන්ත්‍රීනියක් විය යුතු යැයි මා මොහොතේදී සුබ ප්‍රාර්ථනා කරනවා. 
"යළි පිබිදුනු ගම් උදාව" වැඩසටහන යටතේ යහපාලන රජය ආරම්භ කළ 222 වන උදා ගම්මානය වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කවටයාමාන ඉදි වූ  “ජයලත්ගම” උදා ගම්මානයයි. මෙම උදා ගම්මානය අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 678 ක් පමණ වැය කර තිබෙනවා. නව නිවාස 50 කින් සමන්විත වන “ජයලත්ගම” උදා ගම්මානය පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විතයි. මෙම ගම්මානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්වුණු පළමු ගම්මානයයි.
අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025 දී රටේ ‘සැමට සෙවණ’ ලබා දීමයි. එහි පළමු ඉලක්කය වූයේ උදා ගම්මාන 2,500 ක් ආරම්භ කිරීමයි. එය අවසන් කිරීමට අප අපේක්ෂා කළේ සැප්තැම්බර් මාසයේදීයි. නමුත් එම ඉලක්කය ජූනි මාසයේදීම අවසන් කිරීමට අපට හැකි වුණා. එය අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. අපගේ ඉලක්කය කල්වේලා ඇතිව ජයගත හැකි වීම  පිළිබඳව මා බොහෝ සෙයින් සතුටට පත්වනවා.
අපගේ මීළඟ ඉලක්කය වන්නේ දෙවන අදියර වශයෙන් උදා ගම්මාන 5,000 ක වැඩ ඇරඹීමයි. ඉන් පසුව තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000 ක් සහ සිව්වන අදියරේදී නැවත උදා ගම්මාන 2,500 ක් වශයෙන් ආරම්භ කිරීමට අප සුදානම්. ඒ අනුව වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000 ක් ඉදි කර ජාති, කුල මල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව මාතෘ භූමියේ ‘සැමට සෙවණ’ ලබා දෙන්නට මා කටයුතු කරනවා. කුමන බාධා පැමිණියද එම අභියෝගය කෙසේ හෝ ජය ගන්නා බව මා ප්‍රකාශ කරන්නට කැමතියි.
අපගේ උදා ගම්මාන නිවාස වැඩසටහනේ පළමු පියවර තුළ අප ඉදි කරන්නේ තනි මහලේ නිවාසයි. නමුත් රටේ පවතින ඉඩම් සම්පත සීමා සහිත බැවින් දෙවන, තුන්වන සහ හතරවන පියවර අප ක්‍රියාත්මක කරන්නේ ‘තට්ටු නිවාස’ වැඩපිළිවෙල යටතේයි. ඒ අනුව එක ඉඩමක අනු පවුල් දෙක තුනකටම නිවාස ඉදිකෙරෙනවා. එලෙස රටේ සීමා සහිත වූ භූමිය වඩාත් ඵලදායිව හා විධිමත්ව ප්‍රයෝජනයට ගනිමින් අප ‘සැමට සෙවණ’ ලබා දෙන්නට කටයුතු කරනවා. 
ඉලක්ක සහිත අපගේ මේ වැඩ කටයුතු සිදු කරන්නට පුළුවන්ද කියා අපේ ප්‍රතිවාදීන් අපෙන් අහනවා. මා ඔවුන්ට කියන්නට කැමතියි, රටේ සිටින දක්ෂතම නිළධාරීන් සිටින්නේ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තුළ බව. ඔවුන් නිදා ගන්නේ අඩුවෙන්. නියමිත වේලාවටත් වඩා වැඩියෙන් ඔවුන් වැඩ කරනවා. තම පවුල් ගැන අමතක කර දමා රටේ සිටින අසරණ පවුල් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය වැය කරනවා. ඒ නිසාම අපගේ උදා ගම්මාන 2,500 පළමු ඉලක්කය අපට නියමිත කාලයට පෙර ජය ගන්නට හැකි වුණා. අපේ විරුද්ධවාදීන්ට අප පිළිතුරු ලබා දෙන්නේ කයිවාරුවලින් නොවෙයි, වැඩ වලිනුයි.
අද වන විට රට තුළ උදා ගම්මාන 2,546 ක වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මේවන විට උදා ගම්මාන 60 ක් ඉදිවෙමින් පවතිනවා. මේ මාසය වනවිට දිනකට දෙක බැගින් අප උදා ගම්මාන විවෘත කරනවා. ලබන මාසයේ සිට දිනකට උදා ගම්මාන තුන බැගින් අප විවෘත කිරීමට කටයුතු කරනවා. කොත්මලේ හා වලපනේ කොට්ඨාසවලත්, නවීන් දිසානායක ඇමතිතුමාගේ කොට්ඨාසයේත් ගම්මාන ඉදිකිරීමේ කටයුතු ඉදිරි සති කිහිපය තුළ අප ආරම්භ කරනවා. ඔබේ බල ප්‍රදේශයේ සියලු දෙනාගේම නිවාස ගැටළු කඩිනමින් විසඳීමට මා කටයුතු කරන බව සතුටින් මතක් කරනවා. සහෝදරත්වයෙන්, සංහිදියාවෙන්, මිත්‍රශීලිත්වයෙන් යුතුව ප්‍රේමදාසලා සහ දිසානායකලා එකතු වී මේ රට ගොඩගන්නා බව මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කරනවා.
අද රටේ පවුල් ලක්ෂ 61 ක් ජීවත් වනවා. පුරවැසියන් ලක්ෂ 220 ක් ජීවත් වනවා. දේශපාලකයින් ලෙස බොහෝ අය ආර්ථික වර්ධන වේගය, දළ දේශීය නිෂ්පාදනය ගැන උජාරුවට කතා කරනවා. ආර්ථික වර්ධන වේගය වැඩිවන විට එය වැඩිවුණා කියා ලොකුවට කියනවා. ප්‍රවෘත්ති විකාශන මගින් ලකුණු දමා ගන්නවා. නමුත් ආර්ථික වර්ධන වේගය, දළ දේශීය නිෂ්පාදනය වැඩිවන විට මුළු රටේම සිටින ජනතාවට එය දැනෙනවාද කියා අප බලන්නට අවශ්‍යයි. ජනතාවගේ හදවතට, මුදල් පසුම්බියට එය දැනෙනවාද ? රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරට ජාතික ආදායමෙන් 54% ක් භුක්ති විදින්නේ පොහොසත්ම 20% ක පිරිසයි. රටේ දුප්පත්ම 20% ක පිරිස භුක්ති විදින්නේ ජාතික ආදායමෙන් 4% යි. එසේ නම් මා අසන්නට කැමතියි, ආර්ථික වර්ධන වේගය වැඩිවීමේ ප්‍රතිලාභය ගමේ පොඩි මිනිසට දැනෙනවාද කියා. එය හොදින් සිතා බැලිය යුතුයි.
දැන් නව ක්‍රමයක් ගැන ලෝකය සිතමින් යනවා, ඒ අනුව වඩා වැදගත් වන්නේ ආර්ථික වර්ධන වේගය හා දළ දේශීය නිෂ්පාදනය නොව, දළ දේශීය සතුටයි. එනම් දළ දේශීය සෑහිමකට පත් වීමයි. අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,000 ක් ඉක්මවා ඇති නිසා අපේ රට මැදි ආදායම් රටක්ලු. හගුරන්කෙත කී දෙනෙකුට එම ඩොලර් ප්‍රමාණය ලැබෙනවාද? මේ මිනිසුන්ට ඩොලර් තියා රුපියල්වත් ලැබෙන්නේ නැහැ. නමුත් ඒක පුද්ගල ආදායම ගැන බොහෝ අය ලොකුවට කතා කරනවා. අපි අවධානය යොමු කරන්නට ඕනෑ ඒක පුද්ගල ආදායම තුළින් ලැබෙන ඒක පුද්ගල සතුට ගැනයි. සාමාජිකයින් සිව් දෙනෙකු සිටින පවුලකට ආහාර සහ ආහාර නොවන වියදම් සඳහා මාසයකට රුපියල් 55,000/= ක මුදලක් අවශ්‍ය වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අපේ රටේ ජනතාවගෙන් රුපියල් 55,000/= ක මාසික දීමනාවක් ලැබෙන්නේ කී දෙනාටද? රාජ්‍ය සේවයේ කී දෙනෙකුට එය ලැබෙනවාද? රාජ්‍ය සේවයෙත් බහුතරයකට මෙය හිමි නොවනවානම් සාමාන්‍ය ජනතාව යන කලදසාව කුමක්ද ?
‘අප බලයට ආවොත් රටේ ජනතාවට සුරසැප ලෝකයක් නිර්මාණය කරනවා’ කියා ප්‍රතිවාදීන් අද ප්‍රකාශ කරනවා. සිතා බලන්න, ඔවුන් බලයට පැමිණියහොත් රටේ මූල්‍ය විනය ගැන තීන්දු තීරණ ගනු ලබන්නේ කවුද ? මාසයකට එක් පුද්ගලයෙකුට රුපියල් 2,500/= කින් ජීවත් වන්නට පුළුවන් යැයි කියූ මහා ආර්ථික විශ්ලේෂකයායි, මුදල් ඇමතිකම ලබාගෙන ඔබේ බඩ කට පුරවන්නට යන්නේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා, සිව් දෙනෙකු සිටින පවුලකට මාසයකට පියල් 55,000/= ක මුදලක් අවශ්‍යයි කියා. නමුත් රටේ විකල්ප මුදල් ඇමතිවරයා කියනවා, නෑ එක් අයෙකුට මාසයකට රුපියල් 2,500/= ක් ඇතියි කියා. එසේ රුපියල් 2,500/= ක් මාසයකට එක් අයෙකුට ප්‍රමාණවත් යැයි කියූ පුද්ගලයා මුදල් ඇමතිකම දරණ රජයක් බිහි කරනවාද ? කියා දැන් රටේ ජනතාව හොදින් සිතන්නට අවශ්‍යයි. එය මොන මෝඩ ක්‍රියාවක්ද ? මා ඔබට කියනවා, අනිවාරයෙන්ම මෙදා පාර අපේ යුගයක් එනවා. අපේ යුගය මෙදා සැරේ එන විට අප බලන්නේ ආර්ථික වර්ධන වේගය ගැන නොවෙයි, සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියේ ඇති තරමට මුදල් තිබෙනවාද ? පොදු මුහුණු තුළින් දළ දේශීය සතුට පේනවාද ? ඔවුන්ට ජීවත් වන්නට සතුටක් තිබෙනවාද? යන කාරණාවන් පිළිබඳවයි. මෙම කාරණා දෙස බලලයි, අපි අපේ රටේ ජනතාවට ලොකුම හැන්දෙන් බෙදන්නේ. විවිධ අය කොතරම් කුමන තියරි දැම්මත් වැඩක් නැහැ, එය මහ පොළොවේ සිදු නොවනවා නම්. තියරිය කයිවාරුවට පමණක් සීමා වී හරි යන්නේත් නැහැ. එය මහ පොළොවේ යථාර්තයක් බවට පත් විය යුතුයි.
අප මෙම වැඩ කටයුතු සිදු කරන්නේ බොහොම කැපවීමෙන්, අශාවෙන් හා උනන්දුවෙන් යුතුවයි. නවීන් දිසානායක ඇමතිතුමාත් තරුණ ඇමතිවරයෙක් ලෙස කැපකිරීම් රැසක් කරනවා. යමෙක් වැඩක් කරන විට ඊර්ෂ්‍යාව, කුහකකම හා වෛරය නිර්මාණය වනවා. එයයි, රටේ තිබෙන මහා පිළිකාව. වැඩක් කරන විට හතර දිසාවෙන්ම එකතු වී ගහනවා. චෝදනා, මඩ ප්‍රහාර, විවේචන එල්ල කරනවා. ඒවාට මා නම් බොහොම කැමතියි. මා මේ සියල්ල සිදු කරන්නේ රටේ ජනතාව වෙනුවෙනුයි. සජිත් ප්‍රේමදාස සැපයුම ලබා දෙන්නේ රටේ ජනතාවගේ ඉල්ලුමටයි. නවීන් ඇමතිතුමාත්, මාත් කිසිම දිනක බෙදී වෙන්ව නොයන්නට අප දෙදෙනාම දේශපාලන වශයෙන් විවාහ වුණු බවත් මා සතුටින් පවසන්නට කැමතියි. මෙය අහපු ගමන් බොහෝ අය උත්සහ කරයි අපිව දික්කසාද කරන්නට. එය තමයි ස්වභාවය. වෛරී දේශපාලනය. එය තමයි අජාසත්ත දේශපාලනය, දේවදත්ත දේශපාලනය. අපේ මේ නව සුසංයෝගය හරහා රට තුළ අනභිබවනීය ජනතාවට දැනෙන සේවයක් අප සිදු කරන බව මා සතුටින් යුතුව ප්‍රකාශ කරනවා.