8 වැනි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල - 2019 මෙවර “ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උළෙල”ලෙස අගෝස්තු මස 03 වැනිදා සිට 9 වැනිදා දක්වා

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල 08 වැනි වරටත් ලබන අගෝස්තු මස 03 වැනිදා සිට 09 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ. මෙවර මෙම නාට්‍ය උළෙල "ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උළෙල" ලෙස නම් කර ඇත. වසර 8ක් අඛණ්ඩව සංවිධානය කරන මෙම නාට්‍ය උළෙල එම්. සෆීර් ප්‍රමුඛ '"ඉන්ටර් ඇක්ට් ආර්ට්" සංවිධානය කරයි. මෙම නාට්‍ය උළෙලේ සම්ප්‍රදායක් ලෙස ශ්‍රි ලංකාවේ ප්‍රවීන නාට්‍ය වේදියෙකු වෙත උපහාර දැක්වීමක් සිදු කරනු ලබයි. මේවන විට රටවල් ගණනාවක් මෙම නාට්‍ය උළෙල සඳහා සහභාගීවී ඇති අතර ඔවුන් ඉදිරියේ ශ්‍රි ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයට අපමන සේවාවක් කල නාට්‍ය වේදීන් ඇගයීමට ලක්වීම භාග්‍යකි. මෙවර නාට්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව, ජර්මනිය, ඇමරිකාව, රුමේනියාව, ඔිස්ට්‍රේලියාව, පාකිස්ථානය, ඉන්දියාව යන රටවල නාට්‍ය කණ්ඩායම් සහභාගීවන අතර වර්ථමාන ජාත්‍යන්තර වේදිකාවේ නව මානයේ නාට්‍ය වේදිකා ගත වීමට නියමිතයි. මෙහි විශේෂත්වය නාට්‍ය උළෙලට සමගාමීව ශ්‍රි ලාංකික ප්‍රවීන සහ නවක නාට්‍ය ශිල්පීන්ට සහභාගී විය හැකි "කොළඹ නාට්‍ය කතිකාවත" අගෝස්තු මස 05 වැනිදා සිට 07 වැනිදා දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, "නූතන රංග කලා වැඩමුළු" 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වේ.