තේ පැල නැවත වගා කිරීම හෙක්ටයාර් 1000ක සිදුකෙරේ - වසර 3ක් ප්‍රමාද වූ Global Ceylon Tea Campaign තේ ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසයේ ඇරඹේ

ලංකාවේ තේ සම්බන්ධයෙන් පවතින විශාලතම ගැටලුව වන්නේ තේ නැවත වගාකිරීම බවත් තේ පැල නැවත වගා කිරීම හෙක්ටයාර් 1000ක සිදුකරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
තේ කර්මාන්තයේ වර්තමාන ප්‍රගතිය පිළිබදව අදහස් දක්වමින් ඊයේ (ජූලි 18) ශ්‍රී ලංකා තේ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේ දී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ බව පැවසීය.
වර්තමානයේ තේ නැවත වගාකිරීම 2%ක සිදුකිරීම අපේක්ෂාව වුවද දැනට එය සිදුවන්නේ 0.5% - 1%ත් අතර ප්‍රමාණයක වන අතර එයද හරිහැටි සිදුනොවන බවද අමාත්‍යවරයා කියයි.
මෙම ගැටලුවට පිළියමක් වශයෙන් ස්ටාර් ව්‍යාපෘතිය අරඹා ඇති අතර එමගින් හෙක්ටයාර් 1000ක තේ පැල නැවත වගාකිරීමට අපේක්ෂිතයි. තේ මණ්ඩලය මගින් තේ නවෝදය නමින් අරඹන නව වැඩසටහන ඔස්සේ රුපියල් මිලියන 15ක තවාන් තේ පැල ලබාදීම සිදුකරන අතර එය 2020 පළමු කාර්තුවට ප්‍රමාණවත් වන පරිදි හෙක්ටයාර් 1000ක් සදහා ලබාදීමට නියමිතයි.
තවද තේ වගාවේ අභිවෘද්ධිය උදෙසා රුපියල් මිලියන 300ක් තේ පර්යේෂණ ආයතනයට සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ලබාදීමට නියමිත බව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මේ සදහා තේ අපනයනකරුවන්ගේ අවසරය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම මුදල් තේ ක්ෂේත්‍රය නංවාලීම සදහා යෙදවීම සිදුකෙරෙනු ඇත.හොඳ තේ අස්වැන්නක් තේ සදහා පැල වල ගුණාත්මකභාවය ඉතාම වැදගත් වන බැවින් මෙම මුදල් යොදවමින් ගුණාත්මක භාවයෙන් යුතු හොද තේ පැල කුඩා තේ වතු හිමියන් හට ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.
සාමාන්‍යයෙන් ජුනි, ජූලි මාස දෙකෙහි වෙළදපොලෙහි අමු තේ දළු කිලෝවක මිල අඩු අගයක් ගන්නා අතර අගෝස්තු මාසයේ නැවත මිල වැඩි වීම සිදුවෙයි.
මෙතෙක් වසර 3ක් ප්‍රමාද වූ Global Ceylon Tea Campaign තේ ව්‍යාපෘතිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ රුසියාවෙන් ඇරඹීම සිදුකරන බවත්, ඉන් පසු ඩොලර් මිලියන 50ක් වියදම් කරමින් ඉතිරි රටවල් 12ක තේ ව්‍යාපෘතිය
සිදුකරන බවත් අමාත්‍යවරයා අවදාරණය කර සිටියේය.
මෙම ව්‍යාපෘති සදහා මුදල් ලබාගැනීමට තමා දැඩි ලෙස සටන් කල බවත්, ව්‍යාපෘති ප්‍රමාද වීමට විවිධ මතවාද බලපෑ බවත් ප්‍රකාශ කල ඇමතිවරයා මෙම සෑම ඩොලරයක්ම ශ්‍රී ලංකා තේ වෙනුවෙන්ම පමණක් වියදම් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය. ඉදිරියේදී ඹ්60 නමින් ව්‍යාපෘතියක් ඇරඹීමටද අපේක්ෂිතය.
තේ වලට අනවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම වර්තමානයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් වන එමගින් තේ වල ගුණාත්මක බව අඩුවීමක් සිදුවේ. එම ක්‍රියාව අමාත්‍යවරයා දැඩිලෙස හෙලාදකින බවත්, කර්මාන්තශාලා
හිමියන්ගෙන් මෙලෙස සිදු නොකරන ලෙස තමා ඉල්ලා සිටින බවත්, එසේ කර හසුවුව හොත් ඒ සදහා කිසිදු සමාවක් නොදෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
තේ වල අන්තර්ගත සීනි ප්‍රතිශතය පිළිබදවද කර්මාන්තශාලා වල තේ නියැදි පරීක්ෂාවන්ට ලක්කරමින් වාර්තාවන් ලබාගන්නා අතර මේ සම්බන්ධයෙන් සියලුම කර්මාන්තශාලා දැනුවත් කරීම්ද සිදුකර ඇත.
මෙහිදී විශේෂ කරුණක් සම්බන්ධයෙන් අවදානය යොමු කල අමාත්‍යවරයා කියා සිටියේ ඉරාණය සමග ඉන්ධන වලට තේ හුවමාරුවකට අප රට ඉදිරියේදී සූදානම් බවයි. ඉරාණය අප රටට ඩොලර් මිලියන 240ක ඉන්ධන ලබාදී ඇති අතර මෙම මුදල අප රට ඉරාණයට තවම ගෙවා නොමැත. මේ සම්බන්ධයෙන් තමා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග දීර්ඝව සාකච්ඡා කළ අතර ඉරාණයෙහි ඛණිජ තෙල් මිල තේ වලින් ගෙවීමට ඛණිජ තෙල් සංස්ථාව එකග වූ බවත් එමගින් අපරටට විශාල ලාභයක් හිමිවන අතර ඉදිරි මාස 24 සදහා ඉරාණයට තේ යැවීම අපට ගැටලුවක් නැතැයි ද පවසා සිටියේය.
වතු සමාගම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රහ්නයකට අමාත්‍යවරයා කියා සිටියේ සමහර වතු සමාගම් ඔවුන්ගේ වගකීම් නිසි පරිදි ඉෂ්ඨ කර නොමැති අතර වතු සමාගම් රජයට පවරා ගැනීමට නොහැකි වන්නේ එසේ පවරාගත හොත් එය රජයට විශාල බරක් වන නිසාවෙන් බවයි. වතු සමාගම් මීට වඩා ක්‍රමවත්ව සහ විධිමත්ව ඔවුන්ගේ සමාජීය යුතුකම් ඉටුකල යුතු බව පැවසූ අමාත්‍යවරයා වතු සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වතු සමාගම් වැඩි අවදානයක් යොමු කල යුතු බවත් අවධාරණය කළේය.