උඩුගම් බලා පිහිනන විට ඉවුරු දෙපැත්තේ සිටින නරි හූ කියනවා - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

“උඩුගම් බලා පිහිනන විට ඉවුරු දෙපැත්තේ සිටින නරි හූ කියනවා” යනුවෙන් ජනප්‍රවාදයේ සඳහන් පරිදී වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙල උඩුගම් බලා යන විට එය බලා සිටිය නොහැකි  නරින් ඉවුරු දෙපැත්තේ සිට හූ කියමින් උදා ගම්මාන වැඩපිළිවෙලට මඩ ප්‍රහාර හා චෝදනා එල්ල කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉවුරු දෙපැත්තේ සිට හූ කියන නරින් මෙරට සිටින දූෂිත කප්පිත්තන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔවුන් රාජ්‍ය බලය ලබාගෙන මෙරට සම්පත් මංකොල්ලකෑමටත්, ඉඩම් දේපොල සොරා කමින් තමන්ට සහ තම පවුලට බෙදා ගැනීමටත්, විදේශීය තැරැව්කරුවන්ට රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා කොමිස් මුදල් ලබා ගැනීමටත් සැලසුම් කරමින් සිටින බවද සඳහන් කළේය.
උඩුගම් බලා යන ගමනේදී කෝපයෙන් වෛරයෙන් සිටින පිරිස් ග්‍රැනයිට් අතේ තබාගෙන තමන්ට එල්ල කරන තර්ජන ගර්ජන හමුවේ තමන්ව ඝාතනය කරයිද කියා සැකයක් මතුවන බවත්, නමුත් කිසි දිනෙක ප්‍රේමදාසලා මරණයට බිය නොමැති බවත්, පැවසූ අමාත්‍යවරයා උදා ගම්මාන 20,000 ක් ඉදිකර සැමට සෙවණ ලබා දුන් පසු තමන්ව ඝාතනය කළත් කම් නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය, ඉගල්කන්ද ප්‍රදේශයේ ඉදිකළ “අබිසෙස්ගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (17) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 216 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
“අබිසෙස්ගම” උදා ගම්මානය නිවාස 25 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ  331 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.
ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 25 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 281 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 25 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 51 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 65 ක් සඳහා රුපියල් ලක්ෂ 130 ක් වටිනා ‘සොඳුරුපියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 23 කට රුපියල් ලක්ෂ 121 ක් වටිනා ‘විරුසුමිතුරු’ නිවාස ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 133 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 66 ක් වටිනා ප්‍රතිලාභ, පවුල් 10 කට රුපියල් 250,000 ක් වටිනා ස්වයං රැකියා ණය, පවුල් 36 කට සින්නක්කර ඔප්පු ප්‍රදානය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 100 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ලාල් බණ්ඩරිගොඩ හා විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.