ඇසළ පුන් පොහෝ දිනය අදයි

ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.
ලක්වැසි බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පෝය දිනය හැදින්විය හැක.
ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වීම නිසය.
බෞද්ධ ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි ඇසළ පුන් පෝය දිනයේ දී සිදුව තිබේ.
අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකය. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකය. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද අද වැනි ඇසළ පෝය දිනකය. ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි. තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි. විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසළ පොහෝ දිනටයි.