අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම පුදබිමට පැමිණ ආගමික වතාවත්වල නියැලී ඇසල පෙරහැර මංගල්‍ය නැරඹීමට එක්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම පුදබිමට පැමිණ ආගමික වතාවත්වල නියැලීමෙන් අනතුරුව පසුගිය 13 වෙනිදා ඇසල පෙරහැර මංගල්‍ය නැරඹීමට එක්විය.
පළමුව කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අෂ්ඨපළ බෝධීන් වහන්සේ අභියසදී බෝධි පූජාමය පිංකමට ද සහභාගි විය.
අනතුරුව කතරගම දේවාලය වෙත පැමිණ දෙවියන්ට පළතුරු පූජා කොට දේවාශිර්වාදය ලබාගෙන කතරගම පෙරහැර වෙනුවෙන් සිදුකරන විදුලි ආලෝක පූජාව වික්‍රමසිංහ මහතාගේ සුරතින් එදින විවෘත කෙරිණි.
කතරගම පුද බිම වෙත පැමිණ සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන් සමග සුහදව කතාබහ කරමින් එහි දිගු කාලයක් ගත කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම පෙරහැර නැරඹීමට එක්වූයේ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ, මොණරාගල දිසා ලේකම් ඩී. එස්. පද්මා කුලසූරිය යන මහත්ම මහත්මීන් සමගය.