රජයේ ඉඩම්වල වසර 10 ක් අඛණ්ඩව ජීවත් වූ ජනතාවට සින්නක්කර අයිතිය - අගමැති නාවලපිටියේදී කියයි

ධනපතියන්ට සහ මුදලිවරුන්ට පමණක් මෙතෙක් කල් සීමාවී තිබූ ඉඩම් අයිතිය රටේ පොඩි මිනිහාටත් ලබාදීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය බවත් ඒ යටතේ රටපුරා සාමාන්‍ය ජනතාවට ඉඩම් ඔප්පු දස ලක්‍ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) දින නාවලපිටියේදී පැවැසීය.
ඉඩම් ඔප්පු ලබාදීම යටතේ රටේ සාමාන්‍ය ජනතාවට තමන්ගේම ඉඩමක් ආඩම්බරයෙන් භුක්ති විඳීමට හැකි පරිසරය එක්සත් ජාතික පක්‍ෂය විසින් සකසා තිබෙන බවත් ඉදිරියේදී රජයේ ඉඩම්වල වසර 10 ක් අඛණ්ඩව ජීවත් වූ ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඊයේ (13) දින නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ පැවැති ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
අද නාවලපිටියේදී ඉඩම් හිමිකම් ඔප්පු බෙදාදීම අපි සිදු කරනවා. ඔබ මේ ප්‍රදේශයේ වසර 50 ක 60 ක කාලයක සිට ජීවත් වනවා. අද ඔබ ජීවත් වූ ඉඩම් වෙනුවෙන් එහි අයිතිය නිල වශයෙන් තහවුරු කරමින් ඔප්පු ලබාදීම අපි සිදු කරනවා. මේ හරහා ඔබ ජීවත් වන ඉඩමට, වගා බිමට හෝ ව්‍යාපාරයට හිමි ඔප්පුව ඔබට ලැබෙනවා. මෙතෙක් කල් එවැනි නිල ඔප්පුවක් ඔබට තිබුණේ නැහැ.
අතීතයේ රටේ සාමාන්‍ය පුද්ගලික ජනතාවට අයිතිව තිබුණු ඉඩම් ප්‍රමාණය 10% ක් 15% ක් පමණයි. රටේ ජනගහණය වැඩි වනවිට ඔවුන්ට අවශ්‍ය ඉඩම් ලබාදිය යුතු වුණා. ඒ අනුව රජය විසින්ම ඔවුන් රජයේ ඉඩම්වල පදිංචි කරවීම සිදු කළා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ජනපද ව්‍යාපාරය හරහා ඉඩම් සංවර්ධන ආ ඥා පනත යටතේ ජනතාව පදිංචි කරවමින් ඔවුන්ට ඉඩම් බලපත්‍ර ලබාදුන්නා. මේ ආකාරයට බොහෝ පුද්ගලයන් රජයේ ඉඩම්වල ලියුමකින් හෝ බලපත්‍රයකින් පදිංචි කිරීම සිදු කළා.
එදා ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව හරහා ජනතාවට ඉඩම් ලබාදුන්නේ ලියවිල්ලක් හෝ ඉඩම් බලපත්‍රයක් හරහායි. මේ අනුව බලපත්‍ර ඉඩම්වල නිවාස සෑදීමට හෝ කෘෂිකාර්මික වගාවන් ඇති කිරීමට ජනතාව කටයුතු කළා.  එදා ජනතාවට ඉඩම් ලබාදුන්නේ මේ ආකාරයටයි. නමුත් එම ඉඩම්වල නියම අයිතිය ජනතාවට හිමිව තිබුණේ නැහැ.
නමුත් අද ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා සහ ඉඩම් අමාත්‍යංශය නිසා නාවලපිටියේ ඉඩම් ඔප්පු නොමැති ඔබ සියලූ දෙනාටම අද ඉඩම් ඔප්පු ලබාගැනීමේ වාසනාව ලැබී තිබෙනවා. මේ ඔප්පුව හරහා ඔබේ ඉඩමේ නිවසක් ඉදිකිරීමට, කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට, ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය හිමිකම ලැබෙනවා.
අද සිට ඔබට කිසිවෙකුත් පිටුපස යෑමට සිදු වන්නේ නැහැ.  ඉඩම් බලපත්‍රය ඔප්පුවක් කර ගැනීමට කාටවත් මුදල් ලබාදීමට සිදුවන්නේ නැහැ. තමන්ගේ ඉඩමට තමන්ට නීත්‍යානුකූල හිමිකමක් තිබෙනවා යැයි පෙන්වීමට ඔබට කිසිවක් තිබුණේ නැහැ. ඉඩමට ඔප්පුවක් නොමැතිවීමෙන් ඔබට අනාගතය පිළිබඳ විශාල සැකයක් තිබුණා. නමුත් අපේ රජය යටතේ ඔබට අනාගතය පිළිබඳ වූ එම සැකය දුරුකර තිබෙනවා.
ආණ්ඩුවක් ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය වන්නේ රටේ පොඩි මිනිහාටත් ඉඩම් අයිතිය ලබාදීමයි. එය අපේ ප්‍රධාන අරමුණක්. මේ ඉඩම් ලබාදීමේ වැඩසටහන හරහා රටේ බොහෝ දෙනෙක්ට මුදල් ගැටළුවට පිළිතුරු සොයාගැනීමට හැකි වී තිබෙනවා. ව්‍යාපාර ආරම්භ කිරීමට හැකිවී තිබෙනවා. අපේ අරමුණ එයයි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දැන් රට තුළ නව ව්‍යාපාර ආරම්භ වෙනවා. අද වනවිට රටේ ආර්ථිකය දියුණු වී තිබෙනවා. 1977 දී මම නාවලපිටියට පැමිණෙන විට මෙතරම් කඩ සාප්පු තිබුණේ නැහැ. අද නාවලපිටිය ව්‍යාපාර බොහෝමයක් අලූතින් ආරම්භ වී දියුණුවට පත්වී තිබෙනවා.
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ආරම්භ වූ වෙළෙඳ ආර්ථික ක්‍රමය වත්මන් එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ සාර්ථකව ඉදිරියට ගෙනයමින් සිටිනවා. ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම ආදිය රජයේ වගකීම් වනවා. ඒ වගකීම් අපි ඉටුකරමින් සිටිනවා.
ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ ජනතාවට නිවාස ලබාදීම ආරම්භ කළා. උදාගම්මාන ව්‍යාපෘතිය යටතේ රටේ බොහෝ ප්‍රදේශවල ගම්මාන සහ නිවාස ඉදිකළා. ඒ වගේම තට්ටු නිවාස ව්‍යාපෘති ආරම්භ කළා. වර්තමානයේ සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා උදාගම්මාන ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. පලනි දිගම්බරම් ඇමැතිතුමා වතුකරයේ ජනතාවට නිවාස ලබාදෙනවා. පාඨලී චම්පික අමාත්‍යතුමා කොළඹ අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස ලබාදෙනවා. මගේ අමාත්‍යංශය යටතේ උතුරු - නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකර දෙමින් සිටිනවා.
මේ ආකාරයට රටේ ජනතාවගේ නිවාස අයිතිය තහවුරු කිරීමට අපි කටයුතු කරනවා. තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට, ස්වයං රැකියා ආරම්භ කිරීමට ආදිය සඳහා අපි මුදල් ලබාදෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ව්‍යාපාරිකයන්ට ණය මුදල් ලබාදෙනවා. මේ ආකාරයට ව්‍යාපාර කිරීමට අවශ්‍ය මුදල් සහ ජීවත්වීම සඳහා අවශ්‍ය මුදල්, ස්වයං රැකියාවක් කිරීම සඳහා අවස්ථාවක් ආදී සියල්ල අපි ලබාදී තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්ත, ධීවර කර්මාන්ත ක්ෂේත්‍ර සඳහාත් අපි ආධාර උපකාර ලබාදෙනවා.
අපේ ආණ්ඩුව යටතේ මේ සියල්ල සිදු කරන්නේ රට තුළ විවෘත ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහායි. මේ හරහා රටේ පොඩි මිනිහාට ව්‍යාපාරවලින් ඉදිරියට පැමිණීමට අපි අත දී තිබෙනවා. අපි මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය නොකළා නම් රටේ මේ වනවිට ඉතිරි වන්නේ මහා පරිමාණ ව්‍යාපාර පමණයි.
1979 කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිරිල් මැතිව් මැතිතුමා ත්‍රීරෝද රථ ව්‍යාපාරය ආරම්භ කළා. කුඩා කර්මාන්තයක අයිතිය ඔබට ලබාදීම එහි අරමුණ වුණා. ඔබට ඉඩමක් තිබෙනවා නම්, නිවසක් තිබෙනවා නම්, බැංකු ගිණුමක්, ස්වයං රැකියාවක් තිබෙනවා නම් ඉන් කියවෙන්නේ ඔබට ජීවත්වීමේ අයිතිය හිමිව ඇති බවයි. අප සෑම විටම කටයුතු කරන්නේ ඔබේ එම අයිතිය තවදුරටත් වර්ධනය කිරීමයි.
එම වැඩකටයුතු සිදු කරන අතරම ගම්පෙරළිය වැඩසටහන හරහා ග්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතු සිදු කරනවා. රුපියල් මිලියන 9000 ක් වෙන් කරමින් වෙහෙර විහාර සංවර්ධන ඇති කර තිබෙනවා. තම නිෂ්පාදන වෙළෙඳපොළ දක්වා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ග්‍රාමීය මාර්ග ඉදිකරනවා. මෙවැනි විශාල ග්‍රාමීය දියුණුවක් ඇති කරමින් සිටිනවා. මේ සියලූ අයිතීන් ඔබට හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂ රජය නිසායි.
2015 දී මම මේ රට භාර ගත්තේ රට තවදුරටත් සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමටයි. විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති හරහා ඔබේ අයිතීන් දිනාදීමට අපි කටයුතු කරනවා. එය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරනවා.
ඉඩම් ඔප්පු ලබාදීමේ තවත් වැදගත් පියවරක් ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. අද ඔබට ලබාදෙන්නේ ඔබේ ඉඩමට හෝ ගොවිබිමට හිමි නිත්‍යානුකූල ඔප්පුවයි. මෙහි ඉදිරි පියවර වන්නේ ඔබට සින්නක්කර ඔප්පු ලබාදීමයි. විවිධ නීති සහ වාරි ව්‍යාපෘති යටතේ ලක්‍ෂ ගණනක ජනතාව රටේ විවිධ ප්‍රදේශවල පදිංචි කිරීමට අතීතයේ සිට පැවැති රජයන් කටයුතු කර තිබෙනවා. ඒ ආකාරයට රජයේ ඉඩමක් අවුරුදු 10 ක් අඛණ්ඩව භුක්ති විදින ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට අපේ රජය යටතේ කටයුතු කරනවා.
සින්නක්කර අයිතිය ලැබීමෙන් පසු තමන්ගේ ඉඩම ආඩම්බරයෙන් භුක්ති විඳීමට ඔබට හැකියාව ලැබෙනවා. ඉන්පසුව එය දරුවන්ට දායාද කිරීමටත් අවශ්‍ය මොහොතක බැංකු ණය මුදලක් ලබා ගැනීමටත් එම සින්නක්කර අයිතිය ඔබට විශාල පහසුවක් වනවා.
මේ ශාලාවේ මුල්පෙළ සිටින අපි සියලූම දෙනාට තමන්ගේම ඉඩමක හිමිකමක් තිබෙනවා. මිලදීගත් ඉඩමක් හෝ පරම්පරාවෙන් ලැබුණු ඉඩමක් අපට තිබෙනවා. නමුත් ඔබ බොහෝ දෙනෙකුට තමන්ගේ ඉඩමක සින්නක්කර අයිතිය තවම හිමිවී නැහැ. අප නව නීති ඉදිරිපත් කරමින් සිටින්නේ ඔබට එම සින්නක්කර අයිතිය ලබාදීමටයි.
අපේ අරමුණ රටේ පොඩි මිනිහාට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමයි. රටේ ධනපතියන්ටත්, රදල පන්තියටත්, මුදලිවරුන්ටත් ඒ කාලයේ සිටම ඉඩම් අයිතිය තිබුණා. නමුත් සාමාන්‍ය ජනතාවට ඉඩම් අයිතියක් තිබුණේ නැහැ. ඔවුන් ජීවත් වුණේ රජයේ ඉඩමක හෝ පිටස්තර ඉඩමකයි. එම තත්වය අවසන් කරමින් සාමාන්‍ය ජනතාවටත් ඉඩමක හිමිකම ලබාදීම අපි ආරම්භ කර තිබෙනවා. එහි දෙවැනි පියවර ලෙස සින්නක්කර අයිතිය ලබාදීමටත් කටයුතු කරනවා. තවත් ව්‍යාපෘති ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.
මේ ව්‍යාපෘතිය මෙහෙයවන ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාටත්, අමාත්‍යංශයටත් මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වනවා. මේ අවශ්‍ය නීති ඉදිරිපත් කරමින් මේ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාමට එතුමා කටයුතු කරනවා. අපට අවශ්‍ය වන්නේ එයයි. එතුමාගේ උත්සාහය වෙහෙස මහන්සිය නිසා රට පුරා ඉඩම් ඔප්පු ලබාදීමට හැකිවී තිබෙනවා. ඔප්පුවක් ලබාදීම යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එතුමා විශාල උනන්දුවකින් එම වැඩකටයුත්ත සිදු කරනවා. ඒ අතරම පාර්ලිමේන්තු කටයුතුවලට ද විශාල දායකත්වයක් සපයනවා.
මම ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාටත්, පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමාටත් විශේෂයෙන් ස්තූති කළ යුතුයි. ඒ පසුගිය බ්‍රහස්පතින්දා අපි විශාල ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවේදී ලබාගැනීම වෙනුවෙනුයි. අද වනවිට විපක්‍ෂයට විවාදයක් ගෙන යාමටවත් ශක්තියක් නොමැති තත්වයක් පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙනවා.
ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා නුවර ප්‍රදේශය දියුණු කිරීමට විශාල උනන්දුවකින් කටයුතු කරනවා. නුවර රටේ දෙවන ප්‍රධාන නගරයයි. එය දියුණු කිරීමට අවශ්‍ය මුදල් ලබාගනිමින් එතුමා විශාල වැඩකටයුත්තක් සිදු කරනවා. එතුමා උදව් නොකළ විහාරස්ථානයක් මේ ප්‍රදේශයේ නොමැති තරම්. අද මහනුවර දිස්ත්‍රික්කය මෙතරම් දියුණු වී තිබෙන්නේ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා නිසා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ලකී ජයවර්ධන ඇමැතිතුමාත් මේ ප්‍රදේශය නියෝජනය කරමින් විශාල සේවයක් සිදු කරනවා. අවසාන වශයෙන් අද දිනයේ ඉඩම් ඔප්පු ලාභීන්ට මම සුභ ප්‍රාර්ථනා කරනවා.
එම අවස්ථාවට මහා සංඝරත්නය අතුළු ආගමික නායකයින්, රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, එක්සත් ජාතික පක්ෂ නාවලපිටිය වැඩබලන සංවිධායක සහ නාවලපිටිය නගරාධිපති සසංක සංජීව සම්පත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සිරිමෙවන් ඩයස් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඉඩම් හිමිකම්පත් ලාභීන් රැසක් ද සහභාගීවි සිටියහ.