අන්තවාදී මත නිසා ජීවිත 300 ක්‌ නැති වුණා -කාදිනල්තුමා රෝමයේදී කියයි

අන්තවාදී මතවාද හා දර්ශන නිසා තුන්සිය ගණනකගේ ජීවිත අහිමි වූ බවත් මෙම සිද්ධියෙන් පාඩමක්‌ ඉගෙන ගෙන මින් ඉදිරියට කිසිදිනක මෙවැනි සිද්ධීන් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා රෝමයේදී ප්‍රකාශ කළේය.
ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ සංවිධානය කළ විශේෂ හවුල් දිව්‍ය පූජාවකදී කාදිනල්තුමා එසේ කීවේය.
ඇත්ත කියන්න මේ වේලාව පාවිච්චි කළ යුතුව තිබෙනවා යෑයි පැවසූ කාදිනල්තුමා අප මාතෘභූමිය රැකගෙන සෑම ආගමකටම ගරු කළ යුතුව තිබෙන බවද කීවේය.
කාදිනල්තුමා මෙසේද සඳහන් කළේය.
අප සියලුම දෙනා එකතුවී අලුත් ශ්‍රී ලංකාවක්‌ හැදීමට ඇප කැපවිය යුතුයි. අපි දෙදාහස්‌ පන්සිය වසරකට වැඩි කාලයක්‌ බෞද්ධ ශිෂ්ඨාචාරයට පුරුදු වී සිටිනවා.
මෙම දිව්‍ය පූජාවෙන් පසු පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අහිංසක පිරිස වෙනුවෙන් ඉටිපහන් දැල්වීමටද කාදිනල්තුමා සහභාගී වූහ.
ඉතාලියේ රෝම පුරවරයේ ලොරෙන්තිනාහි අප ස්‌වාමිදූගේ දෙව්මැදුරේ පැවති මෙම දේව මෙහෙයට ශ්‍රී ලාංකික කතෝලික බැතිමත්හු විශාල පිරිසක්‌ සහභාගි වූහ.
සති ගණනාවක්‌ තිස්‌සේ රෝමයේ ආධ්‍යාත්මික සංචාරයකින් පසු කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සහ උන්වහන්සේගේ පෞද්ගලික ලේකම් ඩෙනිස්‌ටන් සුබසිංහ, අගරදගුරු මැදුරේ භාණ්‌ඩාගාරික ජූඩ් සමන්ත පියතුමන්ලා ඊයේ (සිකුරාදා) දහවල් ශ්‍රී ලංකාවට පැමිණියහ.