පොදු ජනතාව සමඟ දේශපාලන ඩීල් දමන පිරිස සහ තම පවුල, හිතමිතුරන් සහ ගජ මිතුරු සංගම් සමඟ දේශපාලන ඩීල් දමන පිරිස යනුවෙන් දෙපිරිසක් දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටින බව අමාත්‍ය සජිත් කියයි

පොදු ජනතාව සමඟ දේශපාලන ඩීල් දමන පිරිස සහ තම පවුල, හිතමිතුරන් සහ ගජ මිතුරු සංගම් සමඟ දේශපාලන ඩීල් දමන පිරිස යනුවෙන් දෙපිරිසක් දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොදු ජනතාව සමඟින් ඩීල් දමන පිරිස ජනතාවට ඉඩම්, නිවාස, රැකියා ලබා දී අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ගැටළු විසදීමට කටයුතු කරන බවත් තම පවුල සහ පවුලේ හිතමිතුරන් සමඟ ඩීල් දමන පිරිස තම පවුලට සැප පහසු ජීවිතයක් ගත කිරීම සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් පගා කොමිස් ලබා ගන්නා බවත් සඳහන් කළේය.
නිවැරැදිව ඩීල් දමන පුද්ගලයාව බලයට පත් කර ගැනීමට රටේ ජනතාවට ඉදිරියේදී අවස්ථාව උදා වන බවත් ජනතාව ගන්නා තීන්දුව හොඳින් සිතා බලා නිවැරැදිව ගත යුතු බව පැවැසූ අමාත්‍යවරයා එම ගන්නා තීන්දු තීරණ වල ඵල විපාක අනාගතයේදී ජනතාවටම විදීමට සිදුවන බවද මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම, රණකෙළිය ප්‍රදේශයේ ඉදිකළ “සෙනෙවිරාජගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (12) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 215 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
“සෙනෙවිරාජගම” උදා ගම්මානය නිවාස 26 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 237කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.
ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 26 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 78 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 26 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 34 ක් සඳහා රුපියල් ලක්ෂ 170 ක් වටිනා ‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 25 ක් වටිනා ප්‍රතිලාභ, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 295 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, “සංචාරක පොඩ්ඩා” ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන් 26 දෙනෙකුට රුපියල් ලක්ෂ 130 වටිනා බදු රහිත ණය ප්‍රදානය, සංචාරක ජිප් රථ රියදුරන් 20 දෙනෙකුට 2019 වසරේ අප්‍රේල් මස සිට 2020 අප්‍රේල් මස දක්වා වසරක කල්බදු සහන ලබා දීම, රුපියල් 164,000/= වටිනා සෙවිලි තහඩු ප්‍රදානය, ස්වයං රැකියා ණය ප්‍රදානය සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විණී.