මම එදා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ගත් තීරණය සාර්ථක වුණා

ජාතික ශිෂ්‍යභට බලකා වාර්ෂික අන්තර් පළාත් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වන දින සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. අග්‍රාමාත්‍යවරයා එහිදී මෙලෙස අදහස් දැක්වීය.
ජාතික ශිෂ්‍යභට බලකා සමාප්ති කී්‍රඩා උළෙලට මට ආරාධනා කිරීම පිළිබඳව ඔබ සැමට මගේ ස්තුතිය පළකර සිටිනවා. ජාතික ශිෂ්‍යභට සේනාංකයක් ඇතිකළ යුතු බව එදා අධ්‍යාපන ඇමතිවරයා ලෙස මා තීරණය කළා. ඒ අනුව සම්පත් සියල්ල ඒකරාශි කර ගනිමින් ඉදිරියට යායුතු නිසා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය වෙන වෙනම පවත්වාගෙන ගිය බලඇනි වෙනුවට එක් ජාතික ඒකකයක් ඇති කිරීමට කටයුතු ආරම්භ කළා.
ජාතික ශිෂ්‍යභට සේනාංකයේ කටයුතු කර මේ වන විට රටේ වැදගත් ස්ථානවල තනතුරු දරණ පිරිසක් මෙම උත්සව අවස්ථාවට සහභාගි වී සිටින බව කිව යුතුයි.  මම එදා ගත් තීරණය සාර්ථක වුණා. අද වන විට 115,000 ක් ශිෂ්‍ය භටයින් ලෙස සේවය කරනවා. එය විශාල සංඛ්‍යාවක්. මෙම ශිෂ්‍ය භටයින් ප්‍රමාණය නියම ලෙස පුහුණු කිරීම, ක්‍රීඩා සඳහා සහභාගි කරවීම, පාසලේ වෙනත් කටයුතු සඳහා සහභාගි කරවීම වෙනුවෙන් අධ්‍යක්‍ෂකවරයාට හා අනෙක් නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජාතික ශිෂ්‍යභට අන්තර් පලාත් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ජාතික ශිෂ්‍යභට බලකායේ සියලූ දෙනාටත් ප්‍රශංසා කරනවා.
මෙවැනි තරඟ හා කදවුරු පැවැත්වීම මගින් ඔබ සියලූ දෙනාටම විනයක් හා පුහුණුවක් ලැබෙනවා. මෙරට ජාතික ශිෂ්‍යභට බලකාය ඉන්දියාවේ වගේම දියුණුවක් ලබා තිබෙන බව සඳහන් කළ යුතුයි.   
නමුත් අපිට මෙයින් පමණක් සෑහීමකට පත්වෙන්න බැහැ. අනාගතය දෙස බලමින් ඉදිරි වසර 5 ඇතුලත මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනවා. ඒවගේම ඔබ ජීවත්වන සමාජය වෙනස් වෙනවා. ඒ අනුව මෙම කාලයන් එම පරිවර්තන යුගයට සූදානම් විය යුතුයි. එම අනාගතයට සූදානම් වීම වෙනුවෙන් ගත යුතු තීරණ කිහිපයක් පිළිබඳව දැනටමත් අධ්‍යක්‍ෂතුමා සමග මම සාකච්ඡා කළා.
වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන නිසා පාසල් තුල ද්විතික අධ්‍යාපනය වෙනුවෙන් සහභාගි වන පිරිස වැඩිවෙනවා. ඒ හා සමානව ජාතික ශිෂ්‍යභට සේනාංකයට එකතුවන ප්‍රමාණය වැඩිවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යතුමාත් සමඟ කළ සාකච්ඡා වලදී එතුමා ද ඒකමතිකව තම කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
මෙම බලකාය පාසල්වලට පමණක් සීමා කළයුතු නැහැ. ශිෂ්‍යභට සේනාංකයේ භටයන් පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුලත් වෙනවා. ඒ අනුව උසස් අධ්‍යාපන ආයතනවලින් මෙම බලකායේ බල ඇණි පිහිටුවීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා  පවත්නා නීති වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට අප එකගතාව පළකරනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් පක්ෂව අදහස් පළකර තිබෙන නිසා ගැටළුවකින් තොරව නීති සංශෝධනය කිරීමේ හැකියාව ලැබෙනවා.
මෙම ශිෂ්‍යභට බලකායෙන් පිටවෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන් පසුව මුහුණදෙන ජීවිත සටනට සුදානම් කළ යුතුයි. රැකියාවක නිරත වෙමින් ආදායමක් උපයා ගැනීමට තිබෙන සටනට ඔවුන්ට මුහුණදීමට සිදුවෙනවා.
මෙරට කාර්මික හා උසස් අධ්‍යාපන අංශය ව්‍යාප්ත කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේදී ජාතික ශිෂ්‍යභට බලකා සාමාජිකයින්ට විශේෂත්වයක් ලබාදෙමින් පුහුණු කිරීමේ ආයතන ඇති කිරීමට බලාපොරෙත්තු වෙනවා.
ශිෂ්‍යභට බලකායේ අනාගතය වෙනුවෙන් වසර 5ක සැලැස්මක්  සකස් කිරීමට අමාත්‍යවරයාට හා අධ්‍යක්ෂක වරයාටත් මම උපදෙස් ලබාදුන්නා. ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය හා ප්‍රතිපාදන ලබාදිමට අපි සුදානමින් සිටිනවා. 
මෙම අවස්ථාවට ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක රාජ්‍ය ලේකම් එන්.කේ.ජි.කේ.නැම්මෙවත්ත, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් එම් එම් එස් පෙරේරා යන මහත්වරු ඇතුලු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ශිෂ්‍ය භටයින් විශාල පිරිසක් සහභාගී වූහ.