ප්‍රසන්න ජයකොඩිගේ 'විසිඅට' රිදී තිරයට

2014 රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම ආසියානු චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් '28' අද (02) ස්වකීය මහජන ප්‍රදර්ශනය ආරම්භ කළා. සේමිණි ඉද්දමල්ගොඩ, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල සහ රුක්මල් නිරෝෂ් රංගනයෙන් දායක වී ඇති එම චිත්‍රපටය ප්‍රසන්න ජයකොඩිගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි.

විවාහ වී කෙටි කලකින් තමා හැර යන සුද්දීව වසර ගණනකට පසු අබසිරිට යළි මුණගැසෙනුයේ දූෂණයට ලක් ව මියගිය ප්‍රාණය නිරුද්ධ සිරුරක් ලෙසයි. එතැන් සිට ඇගේ සිරුර නිවසට ගෙනයාම සඳහා ඔහු දරන ප්‍රයත්නය චිත්‍රපටය පුරා දිගහැරෙනවා. අබසිරිට එම කටයුත්ත සඳහා උපකාර කරනුයේ ලෙනින් සහ මනී යන දෙදෙනායි. මියගිය සුද්දීගේ ආත්ම කථනයක් ද චිත්‍රපටයට ඇතුළත්ව තිබෙනවා. ලිංගිකත්වය යනු විශ්වයේ පැවැත්ම පිණිස සකස් වී ඇති වර්ගයා බෝ කිරීමේ සොබාදම් න්‍යායක් මිස කුණුහරුපයක් නොවන බව පැවසීම මෙම චිත්‍රපටයේ අරමුණ බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.

චන්දන ජයසිංහ කැමරාකරණයෙන් ද, රංගන සිංහාරගේ සංස්කරණයෙන්ද, දේශක බමුණුමුල්ල සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක වී ඇති '28' චිත්‍රපටයට Endless World Entertainment සමාගම වෙනුවෙන් නිෂ්පාදන දායකත්වය සපයා ඇත්තේ රෂිත ජිනසේනයි. අද සිට රීගල්, ලිඩෝ, ඇමිටි ලයිට් ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිත එම චිත්‍රපටය ජාතික චිත්‍රපට සංස්ථාවේ රිත්මා මණ්ඩලයේ බෙදාහැරීමක්.