මාලදිවයින් උප ජනාධිපති ෆයිසල් නසීම්, කතානායක හා හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, මාලදිවයින් අමාත්‍යවරු සහ දූත පිරිස වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මාලදිවයින් උප ජනාධිපති ෆයිසල් නසීම්, කතානායක හා හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, මාලදිවයින් අමාත්‍යවරු සහ දූත පිරිස වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (15 වන දා) අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
ශ්‍රී ලංකාව සංචාරකයන්ට හිතකර සාමකාමී හා ආරක්‍ෂිත රටක් බව ලෝකයට ම පෙන්වා දීම මේ සංචාරයේ අරමුණ බව මාලදිවයින් නියෝජිතයෝ පැවසූහ.
දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරමින් මේ සංචාරයට එක්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මාලදිවයින් නියෝජිත පිරිස වෙත සිය කෘතඥතාව පළ කළේය.
මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, රිෂාඩ් බදුර්දීන්, මුජිබුර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, කවින්ද ජයවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකකනායක යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.