බාහිර වත්පිළිවෙත් තුළින් නොව සැබෑ දහම් හරයෙන් අප ජීවිත පොහොසත් කරගනිමු

පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කිය සිටියි. එතුමාගේ පණිවිඩයේ තව දුරටත් මෙසේ සඳහන් වේ.

යම්කිසි රටකට, ජන සමාජයකට සංක්‍රමණය වන ධර්ම මාර්ගයක් එකී ජන සමාජය නවතාවයට පත්කරමින්, සමාජ, සංස්කෘතික, දේශපාලන යන සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලී වෙනසක් ඇති කිරීම පිළිබඳ ලෝක ඉතිහාසයේ අගනා නිදසුනක් ලෙස බුදු දහම ලංකාව තුළ ස්ථාපිත වීමෙන් ඇති වූ සමාජ පුනරුදය දැක්විය හැකිය.

සත්‍ය ධර්මය ජන සමාජයක නිදන්ගත වීමට ආක්‍රමණ, හිංසන හෝ ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නොවන බවට බුදු දහම අප රට තුළ ස්ථාපිත වූ ආකාරයෙන් මනාව පැහැදිලි වේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක් දේශයට වැඩම කළේ, බුදුන් වහන්සේ පෙන්වා දුන් සදහම් මාර්ගය අවබෝධ කරගැනීමට හැකි ජන සමාජයක් මෙහි සිටින බවට පැවති පැහැදිලි අවබෝධයෙනි.

මෙම උතුම් වූ පොසොන් පොහෝ දිනයේ අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ එකී සත්‍ය ධර්මයේ ගැඹුරු උත්තරීතර වටිනාකම් සමුදාය වෙත ය. අන්තවාදී බලවේග ක්‍රියාත්මක වන මෙබඳු වකවානුවක අප වඩ වඩාත් ධර්මාලෝකය ලබමින්, මනුෂ්‍යත්වය ගොඩනැංවීමට අත්වැල් බැඳ ගත යුතුය.

බාහිර වත්පිළිවෙත් තුළින් නොව සැබෑ දහම් හරයෙන් අප ජීවිත පොහොසත් කරගනිමු. පරමාදර්ශීව අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත් වෙමු. ඒ සඳහා සැම සිත් පහන් වේවායි මෙම උතුම් වූ පොසොන් පොහොය දිනයේ ප්‍රාර්ථනා කරමි. 

 

 

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය