හැමදාම Social Media Ban කරනවාද? නැත්නම් රට අනාත නොකර විසදුම් හොයනවාද?

ලොක්යේ සමාජ ජාල අඩවි තහනම් කරන ලද රටවල් 24 අතරට ශ්‍රී ලංකාවත් එකතු වී ඇත. එමෙන්ම චීනය, ඉරානය හා උතුරු කොරියාව මුළුමනින්ම ෆේස්බුක් තහනමට ලක්කර ඇත. මිලියන 7.3 අන්තර්ජාල භාවිත කරන රටක් වන අප රට  මේ වන විට ශ්‍රී ලංකාව 4 වතාවක් සමාජ ජාල වාරණය කර නැවත වාරණය ඉවත් කර ඇත. මුලින්ම සමාජ ජාල වාරණය සිදුවන්නේ 2018 වසරේ මාර්තු මසය, ඉන්පසු පිළිවෙලින් 2019 අප්‍රේල් මස 21, මැයි 05, මැයි 13 යන දිනයන්හි සමාජ ජාල තහනමට ලක්වේ. විශේෂයෙන් ෆේස්බුක් එහෙමත් නැත්නම් මුහුණු පොත, YouTube, Viber, Whatsapp ප්‍රධාන තැනක් ගන්නා ලදී.

ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 5.4ක් 2019 සිටින බවට ෆේස්බුක් ආයතනය සදහන් කරයි. මෙය ඉකුත් වසර සමග සංසන්දනය කිරීමේදී අඩු වීමට ඊට හේතුව ව්‍යාජ ගිණුම් එහෙමත් නැත්නම් fake accounts විශාල ප්‍රමාණයක් පැවති අර්බුදකාරී තත්වය හමුවේ ඉවත් කිරීමට එම ආයතනය කටයුතු කිරීමයි. මෙය සංඛ්‍යාත්මකව මිලියනයකට ආසන්නය. විශේෂයෙන් ෆේස්බුක් ආයතනය පසුගිය වසරේ නව ආරක්ෂක නිලධාරීන් ලෝකය පුරා බදවාගැනීම් කරන ලදී. 2018 දෙසැම්බර් මස අවසානය වන විට ඔවුන්ගේ මුළු සේවක ප්‍රමාණය 35,587ක් බවට ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ මෙම වාරණය හේතුකොට ගෙන දැවැන්ත බලපෑමක් සංචාරක, තොරතුරු තාක්ෂණ ආයතන වලට සහ අන්තර්ජාල පහසුකම් ලබාදෙන ආයතනවලට සිදුව ඇත. එමෙන්ම රජයට බරක් නොවී අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට රැකියා කරන පිරිසටද මෙය දැඩි අපහසුවකි. කෙනෙක් VPNතාක්ෂණය යොදාගෙන එය සිදුකළ හැකි යැයි තර්ක කළ හැකිය. නමුත් එම සේවය ලබාදෙන ආයතන කෙතරම් සුරක්ෂිතදැයි මතවාදයට තුඩුදෙන ගැටලුවකි. සමහරෙකුගේ ගිණුම්වල මුරපද වෙනත් අයෙකුගේ අතට පත්වීම නිසා දැඩි පාඩු විදිමටද සිදුව ඇත.

එසේනම් රජය කුමක් කළයුතුද? මෙම සේවා සපයන ආයතන සියල්ල කැදවා ඔවුන් සමඟ දීර්ඝ ලෙස ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා සාකච්ඡා කර අදාල ආරක්ෂක විදිවිධාන යොදාගත යුතුය. ශ්‍රි ලංකාවේ පරිගණක අපරාධ නීතියද සැලකිල්ලට ගත යුතුය. පරිගණක ආශ්‍රිත වැරැදිවල දී ජාතික ආරක්‍ෂාව ආදියට එරෙහි ව කරනු ලබන වැරැදි පිළිබඳව පනතේ 6 (1) වගන්තිය යටතේ දක්‌වා තිබේ. එනම් යම් පරිගණකයකට හිතාමතා ම යම් කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීමෙන් සහ එයින් යම් හානියක්‌ වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව එයින් (අ) ජාතික ආරක්‍ෂාවට (ආ) ජාතික ආර්ථිකයට (ඇ) මහජන ආරක්‍ෂාවට හානි සිදු කිරීම හෝ ආසන්න ම හානියක්‌ සිදු කිරීමට සලස්‌වන්නා වූ යම් තැනැත්තකුට අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු බව සඳහන් කර තිබේ. මේ වගන්තිය යටතේ වූ නඩුවක දී වඩාත් වැදගත් කරුණ වන්නේ අන් අවස්‌ථාවල මෙන් විත්තිකරුට අදාළ පරිගණකයට පිවිසීමට නීත්‍යනුකූල බලයක්‌ තිබුණේ ද නැද්ද යන්න සලකා නො බැලීමයි.
මෙම නීති ප්‍රමාණවත් නොවේ නම් නව නීති කෙටුම්පත් කඩිනමින් සම්මත කරගැනීම රජය හා නීති සම්පාදන ආයතන වල වගකීමකි. එසේ නොමැතිව ගොත්‍රික සමාජයක වෙසෙන පිරිස් ලෙස ලෝකයට පෙන්වමින් සමාජ ජාල නිතර නිතර අවහිර කරමින් රටක් දියුණුව කරා ගෙන යා නොහැකි බව තේරුම්ගත යුතුය. කෙසේ තහනම් කළ ද දැන් ශ්‍රී ලාංකීය සමාජය VPNතාක්ෂණය පිළිබඳව දැනුවත්ය. තහනම් කරනු ලැබූ දිනයේ මුහුණු පොත පරීක්ෂාකිරීමේදී පැහැදිලි වූයේ තහනමට ලක් කළ අය හැරුණු විට අන් සියළුදෙනා සමාජ ජාල තුල සැරිසරන ආකාරයකි.

සමාජ ජාල සේවා ලබාදෙන ආයතන තම සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ට විශේෂ සමාජීය ප්‍රමිතීන් (Community Standards) හදුන්වා දී ඇත. උදාහරණයක් ලෙස Facebook ආයතනය විසින් දක්වා ඇති වෛරී ප්‍රකාශ, කෙනෙකු හෝ සමාජයක් ඉල්ලක කර ප්‍රචාරය කරන දෑ ඉවත් කිරීම ඔවුන්ගේ සමාජීය ප්‍රමිතීන්ගේ (Community Standards) එක් අදියරයකි. එය ඔවුන් පහත සදහන් ආකාරයෙන් දක්වා ඇත. එය මුහුණු පොත භාවිතයේදී සැමට වැදගත්වේ.
 
Facebook removes hate speech, which includes content that directly attacks people based on their:
Race - වාර්ගිකත්වය
Ethnicity - ජනවාර්ගිකත්වය
National origin - ජාතික සම්භවය
Religious affiliation - ආගමික අනුබැඳිය
Sexual orientation - ලිංගික හැඩගැස්ම
Sex, gender, or gender identity, or - ලිංගික හැසිරීම්, ස්ත්‍රී පුරුෂභාවය හෝ ලිංගික අනන්‍යතාවය
Serious disabilities or diseases - බරපතළ ආබාධ හෝ රෝගාබාධ
 
මෙම කරුණ සාකච්ඡාවට භාජනය කිරීමේදී අදාල ආයතන දරන මතයද සැලකිල්ලට ගත යුතුය. එම ආයතන තුල සේවය කරන නිලධාරීන් කිහිපදෙනෙක් සමග සාකච්ඡා කළ මා හට පැහැදිලි කරනු ලැබුයේ රටක් ලෙස මෙම ප්‍රශ්ණ විසදාගැනීමට උනන්දුවක් අප රටේ අදාල බලධාරීන්ට නොමැති බවය. ඔවුන් පවසන්නේ එකිනෙකාගේ පුද්ගලික වාසිය තකා තම ආයතන අමතන අතර, රටේ ප්‍රතිපත්ති ඇතිකිරීමට කරනු ලබන කතා බහ ඉතා ඇලමැරුණු ස්වභාවයක් ගන්නා බවයි.

එමෙන්ම මෙහි ඇති තවත් ගැටළුවක් නම් රාජ්‍ය අංශයේ නිලධාරීන් මේ පිළිබඳව ඇති දැනුවත් භාවයයි. පෞද්ගලික අංශයේ ආරක්ෂණ ශිල්පීන් රාශියක් සිටියද රාජ්‍ය අංශයේ කටයුතු කරන්නේ ඉතා අඩු පිරිසකි. ඔවුන්ගෙනුත් බහුතරය ඉතා අලස ආකාරයෙන් කටයුතු කරන බවට පෙනී යයි. එසේ නම් රජයට වගකීමක් ඇත. එනම් තව තවත් මේ ක්ෂේත්‍රය සම්බන්ධව යම්තාක් දුරකට අධ්‍යයනය කරන ලද කැමැත්තක් දක්වන පිරිස් දිරිමත් කර ඔවුන් මෙරට හෝ විදේශ රටවල පුහුණු කර නැවත ඔවුන්ගේ සේවය මව්බිමට ලබාගැනීමයි. මේ ප්‍රතිපත්ති තිරණ ගැනීම රටේ නායකයන් සතුය. නැතුව කෙටිකාලීන පැලැස්තර ඇලවීමෙන් මේ ප්‍රශ්ණය නිරාකරණය කරගත නොහැකි බව කිව යුතුය. නිසි තීන්දු තීරණ ගැනීම තුලින් රටේ කිර්තිය ලෝකය ඉදිරියේ ආරක්ෂා වනවා සේම රටේ අනාගතය භාරගන්නට සිටින අපේ දරුවන්ගේ ආරක්ෂාවත් මෙමගින් තහවුරු වේ.

නීති සම්පාදනය හා අදාල ආයතන සමග සාකච්ඡා කිරීම රජය සතු වගකීම මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපටද වගකීමක් ඇත. එනම් රටේ කීර්ති නාමයට කැලලක් නොවන ආකාරයෙන්  සමාජ ජාල තුල විනයක් ඇතිව හැසිරීමට වගබලා ගැනීමයි. යම් අර්බුදකාරී අවස්ථාවක් රට තුළ ඇති වූ විට එය තව තවත් උග්‍ර කිරීමට විඩියෝ මෙන්ම, අනෙකුත් මත පල කිරීම තුලින් රට ආපස්සට යනවා මිසක ඉදිරි දියුණුවක් නොවේ. සමහර විට ඔබේ ලයික් ගණන ෂේයාර් ගණන වැඩිවන්නට පුළුවන නමුත් රටක් ලෙස ලෝකය ඉදිරියේ ගෝත්‍රිකයන් වන්නට හැකිය. දියුණු ජාතීන් සිටින දියුණු රටවල ජනතාව මෙවැනි දෑ නොකරයි. මන්ද ඔවුන් දැඩි ලෙස තම රටට ආදරය කරන බැවිනි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපි අන් අයට වෛර කරන්නට, අපේම අයට අපහාස කරන්නට මුහුණු පොත යොදා නොගනිමු. අපට අහිමි වූ බොහෝ දෑ ලබාගැනීමට ආකල්පමය වෙනසක් රටේ ඇති කරන්නට මුලපුරමු. මුහුණු පොතේ සුළු පිරිසක් ඉතා වටිනා කියන දෑ, ඔවදන් පලකරන අතර වැඩි පිරිස සොයන්නේ අනුන්ගේ ඕපාදූපය. මේ රටවා වෙනස් කිරීමට මුලපිරය යුත්තේද ඔබය.
 
ඔබට එය කලහැකියි. විශ්වාස කරන්න ඔබේ මුහුණු පොත එයට හොද තෝතැන්නකි. ජීවිත යහමඟට ගන්නට, ජීවිත ජීවත් කරවන්නට අපි අපේ වැරදි අඩුපාඩු හදාගෙන රට වෙනුවෙන් අපට හැකි දේ කරන්නට මුහුණු පොත භාවිතා කරමු. අපි අපේ රටේ ආදරණීයන්ට බුද්ධියක් ඇති ආචාරශීලී මිනිස්සු විදිහට සලකමු.
 
- පුලස්ති වන්නිආරච්චි
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක