ඇයි අපි සමාජ ජාල තුල හෝ සන්නිවේදන මාධ්‍ය තුල මියගිය අයගේ මෘත ශරීර වල ඡායාරූප හා තුවල ලද අයගේ විඩියෝ ඡායාරූප පල කිරීම නොකල යුතු වන්නේ?

බොහෝ විට ලංකාවේ හදිසි කරදරයක් සිදු වූ අවස්ථාවන් උදා - නාය යෑම්, බෝම්බ පිපිරීම්, අනෙකුත් ස්වභාවික විපත්, රිය අනතුරු වලදී මියගිය අයගේ ඡායාරූප රැගෙන සමාජ ජාලතුල ප්‍රචාරය කරනු ලබයි. මෙය සිදුකරන අයගේ වැඩි ප්‍රතිශතයක් එය සිදුකරනු ලබන්නේ තමන්ගේ සමාජ ජාල පිටුවේ ප්‍රසිද්ධිය Likes වැඩිකරගැනීමටය. ඔවුන් තම පවුලේ සාමාජිකයෙක් මෙසේ මියගිය හොත් කිසිවිටක එම ඡායාරූප පලකිරීමට තැත් කරන්නේ නැත. ඒ ඔහුට හෝ ඇයට එය තදින්ම දැනෙන නිසාවෙනි. නමුත් ශ්‍රී ලාංකිකත්වය ඔවුන්ට නොදැනීම ඉතා කණගාටුදායකය. තම රටේ පිරිසක් අසරණ තත්වයට පත්ව ඇති අවස්ථාවේ එම ඡායාරූප රැගෙන තමන්ට ලැබෙන වාසිය ගැන පමණක්ම කල්පනා කරයි. මෙය නොදන්නා අනික් පිරිස් වගකීමකින් තොරව මේවා තම මුහුණු පොතේ Share කරගැනීමට පෙලඹෙයි. 
එමෙන්ම යම් කල්ලියක සමාජිකයන් පිරිසක් සිදුකරන ලද ඝාතන නම් ඔවුන්ට තම නීච ක්‍රියාව ලොව වටා බෙදාහැරීමට, ඔවුන්ගේ අලෙවිකරණය කරගැනීමට නොදැනුවත්ව මේ සිදුවීම් වල ඡායාරූප Share කරන්නන් වක්‍රව දායකවෙයි.
අප හැමවිටම වෙනත් කෙනෙකුගේ ඡායාරූපයක් පලකරන විට ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය හා පුද්ගලික අවකාශය ගැන සිතිය යුතුය. පසුගිය දින බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ සාමාජිකාවන් දෙදෙනෙකුගේ දේහයන් තැන්පත් කර ඇති ස්ථානයේ ඡායාරූප නොගන්නා ලෙස ඉල්ලීමක් කරන ලද පත්‍රිකා ප්‍රදර්ශණය විය. නමුත් එය නොතකා එහි ඡායාරූප රැගෙන මුහුණු පොතේ පලකල පිරිස දකින්නට ලැබුණි. හිතන්න එම පවුලේ විරුද්ධත්වය නොතකා ඔවුන් පත්ව ඇති අපහසුතාවය, ශෝකාකූල අවස්ථාව ගැන නොසලකා ක්‍රියා කර ඇති හැටි. අන්අයෙගේ සිතුම් පැතුම්, හැගීම් දැනීම් කෙසේ වෙතත් තම මුහුණු පොතේ හෝ වෙනත් සමාජ ජාල තුල ලයික්, කමෙන්ට් වෙනුවෙන් පහත් චර්යා රටා සිදුකරන අඳ බොලද කාලකණ්නි පිරිසක් සිටින රටක් බවට පත්වී ඇත. 
2001 සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථාන ත්‍රස්ත ප්‍රහාරයේදී එකදු මිය ගිය මෘත ශරීරයක අඩුම තරමේ ඡායාරූපයක් හෝ දකින්නට නොතිබුණි. එහිදී මියගිය ගණන 2,996ක් ලෙස මාධ්‍ය තුල සටහන් වී තිබුණි. ප්‍රංශයේ ප්‍රහාරයේදීත් එසේමය. එහිදී 137 මිය ගොස් ඇත. එමෙන්ම එංගලන්තයේ ලන්ඩන් නූවර ග්‍රෙරෙන්ෆෙල් ගොඩනැගිල්ලේ ගින්නේදී මියගිය කෙනෙකුගේ මෘතදේහය දමා තිබූ බෑගය විවෘත කර ගනු ලැබූ ඡායාරූප සමාජ ජාලයේ පලකරපු ඔමෙගා මවිකම්බෝ නැමති පුද්ගලයා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. ශ්‍රී ලංකාවේ පෞද්ගලික මාධ්‍ය බොහොමයකද හැසිරීමද ඛේදජනකය. තම රේටින් ප්‍රමාණය වැඩිකරගැනීමට එසැනින් ඕන මෘත දේහයක්, තුවල ලබන්නෙක් ලේ පෙරාගෙන වෛද්‍ය ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටියදී හෝ වොයිස්කට් ලබාගෙන, වාට්ටු සංකීර්ණවල ඔබ මොබ ඇවිදිමින් වෛද්‍යවරුන්ගේ හා අනෙකුත් කාර්ය මණ්ඩලවල කටයුතු වලටද බාධාවන ලෙස හැසිරෙමින්, පීඩිත පාර්ශවයන්ට තවත් මානසික පීඩා දෙමින් තම වාර්තාකරණයේ යෙදෙයි. එමෙන්ම ත්‍රස්තයන් විඩියෝවක් පටිගත කර අන්තර්ජාලයට මුදා හරින්නේ තවත් ත්‍රස්තයන් ඇතිකිරීමට හා ඔවුනගේ අත්ම ශක්තිය වැඩිකිරීමේ අරමුණින් යුතුව එම විඩියෝ සමාජ ජාලවල බෙදාහරී. මෙය අපේ මාධ්‍ය ආයතන ගෙන සමාජ ජාල ඔස්සේ බෙදාහරී. එමගින් තම Likes, Shares ගාන වැඩිවෙනවා සත්තකි. නමුත් ශ්‍රී ලාංකීය ජාතියේ ආත්මගරුත්වය හෝ අත්මාභිමානය එයින් රැකෙන්නේ නැති බව මේ නූගතුන්ට කොතෙක් කිවාටද පිලිගන්න පාටක් හෝ පෙනෙන්නට නැත. එපමණක්ද නොව ජාතික ආරක්ෂාවට තව තවත් තර්ජන ඇතිකිරීමට වක්‍රාකාරව දායක වෙයි. 
එමෙන්නම රටේ පාලකයන්ටද වගකීමක් ඇත. එනම් මෙවැනි අකටයුතුකම් කරන්නන්ට විරුද්ධව දැඩි නීති පැනවීම. නිතී නොමැතිනම් අවශ්‍යක කරන නීති කෙටුම්පත් සකස්කල යුතුය. දිනෙන් දින දියවී යන්නේ අපේ රටේ ගෞරවයයි, ශ්‍රී ලාංකීය අභිමානයයි.
Whatsapp, Viber හෝ Massenger ඔස්සේ ඔබ බෙදාහරින ඡායාරූප කුඩා දරුවෙක් තම දෙමාපියයෙකුගේ ජංගම දුරකතනයක් අතැතිව සිටින මොහොතක යැව්වේ නම් ඒ කුඩා දරුවාගේ මනස මේවා දැකීමෙන් කෙතරම් ව්‍යාකූල වෙයිද. සමහර විට වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාදීමට සිදුවේවි. එමෙන්ම කම්පනයක් දරාගත නොහැකි අයෙක් වුවද එසේමය. 
නැවත හිතන්න ශ්‍රී ලංකාවේ අපි ඉන්නේ කොතනද? ඇයි මෙවැනි දෑ නොකර අන්අයගේ ආත්ම ගරුත්වය රැකගෙන රටක් ලෙස ගොඩ එන්නට බැරි? මෙය ගැඹුරින් කල්පනා කලයුතුය. සදාචාරය නොතෙරෙන්නේ නම් මේවා පාලනයට නීති සෑදිය යුතුය. අපේ රටේ ආදරණීය මිනිසුන්ට, මිනිස්කමට වටිනාකමක් දෙන මිනිස්සු වෙමු... අපි වැටුණු රට නැවත ගොඩගන්නට අපිට හැකි පමණ දායක වෙමු.
පුලස්ති වන්නිආරච්චි
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශක්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක