ශ්‍රී ලංකාවේ ප්‍රථම නිතිනි චන්ද්‍රිකාව ගුවන් ගත කරයි.

රාවණා1 යනු  ශ්‍රී ලාංකික පර්යේෂණ විද්‍යාඥයන් දෙදෙනෙක් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් නිර්මාණය කරනු ලැබූ  එක් ඝන චතුරස්‍ර ප්‍රමාණයේ ක්ෂුද්‍රරූපී චන්ද්‍රිකාවකි.
 
තරිඳු දයාරත්න යනු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බිහිවූ විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙකු මෙන්ම නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ (ACCIMT) පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකි. දුලානි චාමිකා යනු එම ආයතනයෙන්ම යන්ත්‍ර ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ ඉංජිනේරුවරියකි.
ACCIMT ආයතනය විසින් දියත් කරනු ලැබූ නිතිනි චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ප්‍රථම අදියර වනුයේ රාවණා1චන්ද්‍රිකාව නිර්මාණය කිරීමයි. ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයේ දී සැලැසුම් කර තනනු ලැබූ මෙම චන්ද්‍රිකාව ප්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර් 1000 කින් (10cm  x 10 cm x 10 cm) සහ 1.05  kg ක බරින් යුක්තය.
 
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙතCygnas Cargo  අභ්‍යවකාශය යානය රැගෙන යන ඇන්ටෙයාර්ස් රොකට් යානය ආධාරයෙන් ඇමරිකානු වේලාවෙන් අප්‍රේල් 17 දින බදාදා වන බදාදා ප.ව 4.46 ට, එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අප්‍රේල් 18 වන  ‍බ්‍රහස්පතින්දා පෙ.ව 2.16 ට චන්ද්‍රිකාව දියත් කරන ලදී.
මෙම චන්ද්‍රිකාව 2019 ජූනි මසදී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ජපාන කිබෝ මොඩියුලය යොදා ගනිමින් කිලෝමීටර් 400 හා අංශක 51.6 ක ආනතියකින් යුතු කක්ෂයක කක්ෂගත කිරීමට නියමිතය. මෙය කක්ෂගත කරනු ලබන නිශ්චිත දිනය ආතර් සී ක්ලාක් ආයතනය විසින් නිවේදනය කරනු ඇත.
 
මෙම කාර්යයේ මූලික අරමුණු වනුයේ නිතිනි චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින්ගේ ශක්‍යතා වර්ධනය කිරීමයි.  නුදුරු අනාගතයේ දී ආතර් සී ක්ලාක් ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා සේවා සැපයීමේ අරමුණුකර ගනිමින් කුඩා චන්ද්‍රිකා නිර්මාණය, සැකසීම සහ දියත් කිරීම සිදුකිරීමට නියමිතය.