සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂාවීමට ඇමති හරීන්ගෙන් කලාපීය සයිබර් මධ්‍යස්ථානයක්

සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා වන කලාපීය සයිබර් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරන බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. මේ සඳහා මයික්‍රෝසොෆ්ට් ආයතනය ඇතුළු තවත් ආයතනවල සහාය ලබාගන්නා බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (16) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ හරහා ශ්‍රී ලංකාවේ පරිගණක පද්ධතියේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමට හැකිවන අතර, කලාපීය ආරක්ෂාවද තහවුරු කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ දිනවල ලෝකයේ වේගයෙන් පැතිරී යන පරිගණක වෛරසයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් බලපැමක් නොමැති බව පරිගණක හදිසි අවස්ථා සඳහා සූදානමින් සිටින කාර්ය බළකාය තහවුරු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.